ජල ගැටලුවක් නිසා ඇති වූ ගැටුමකින් අයෙකු මරුට
February 28, 2026 02:48 pm
හැටන්, රුවන්පුර මටුකැලේ ජනපදයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම ගැටුමෙන් 06 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර ඉන් බරපතළ තත්ත්වයේ සිටි එක් අයෙකු මහනුවර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයෙහි ප්‍රතිකාර ලබමින් සිටිය දී ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ රුවන්පුර ජනපදයේ මටුකැලේ වත්තේ පදිංචිව සිටි 39 හැවිරිදි තිදරු පියෙකි.
කෙසේවෙතත් අනෙක් තුවාලකරුවන් 5දෙනා මේ වන විට දික්ඔය මුලික රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.
ඒ අතර මියගිය පුද්ගලයාගේ සොහොයුරාද සිටින බව පොලීසිය පැවසීය.
මෙම ජනපදයේ ජල නළ මගින් ලබා දී ඇති පානීය ජල ගැටළුවක් සම්බන්ධයෙන් අදාළ පිරිස අතර ඉකුත් 24වනදා සිටම අවස්ථා කිහිපයකදීම බහින්බස් වීම් ඇති වී ඇත.
එය ගැටුමක් දක්වා වර්ධනය වීමෙන් මෙම පහරදීම සිදුව ඇති බව වාර්තා වේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු ඊයේ (27) අත්අඩංගුවට ගෙන හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු මාර්තු 10වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.
