රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධියට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගැන තීරණයක්

රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධියට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගැන තීරණයක්

February 27, 2026   04:46 pm

2022 වසරේ අරගලය පැවති සමයේ රඹුක්කන ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් අසල පැවති සාමකාමී විරෝධතාවකට එල්ල වූ පොලිස් වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයකු මියගොස් තවත් පිරිසක් තුවාල ලැබීමේ සිද්ධියට එරෙහිව ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළ ප්‍රති විරෝධතා ගොනු කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (27) පෙත්සම්කාර පාර්ශවයට කල් ලබා දුන්නේය.

මෙම පෙත්සම අද ජනක් ද සිල්වා, අචල වෙංගප්පුලි සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. 

එම අවස්ථාවේදී විනිසුරු මඩුල්ල පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරුන්ට පෙන්වා දුන්නේ මෙම නඩුකරවලට අදාළ ප්‍රති විරෝධතා ගොනු කර නොමැති බවය.

එම අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරු සදහන් කළේ මෙම සිද්ධියෙන් තුවාල ලැබූ ඇතැම් පෙත්සම්කරුවන් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි බැවින් ප්‍රති විරෝධතා ගොනු කිරීමට නොහැකි වූ බවය.

ඒ අනුව ප්‍රති විරෝධතා ගොනු කිරීම සඳහා කල් ලබාදෙන ලෙසත් එම නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ශනිල් කුලරත්න මහතා සඳහන් කළේ මෙම පෙත්සම්වලට අදාළ ලිඛිත දේශන ගොනු කර තිබෙන බවත්ය.

ඒ අනුව ප්‍රති විරෝධතා තිබේනම් ඒවා ජුලි 15 වනදාට පෙර ගොනු කරන ලෙස පෙත්සම්කාර පාර්ශවයට නියම කළ විනිසුරු මඩුල්ල පෙත්සම් විභාගය සැප්තැම්බර් මස 08 වනදා කැඳවන ලෙසත් නියම කළේය.

2022 වසරේ අරගලය පැවති සමයේ රඹුක්කන ඉන්ධන පිරවුම්හලක් අසල පැවති සාමකාමී විරෝධතාවයකට පොලිසිය විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් චමින්ද ලක්ෂාන් නමැති 41ක් හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලැබූ අතර මියගිය පුද්ගලයාගේ බිරිඳ සහ තුවාල ලැබූවන් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් 07 ක් ඉදිරිපත් කර ඇත.

මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස මෙම වෙඩි තැබීම සිදු කිරීමට අණ දුන් බව කියන කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී.කීර්තිරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් නම් කර ඇත.