බෙනට්ගේ සුපිරි ඉනිමෙන් ඉන්දීය බලාපොරොත්තු ඈතට යයි
February 26, 2026 10:38 pm
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ අද (26) රාත්‍රියේ පැවති තරගයෙන් සිම්බාබ්වේට එරෙහිව ලකුණු 72ක පහසු ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් විය.
චෙන්නායිහිදී පැවති මෙම තරගයේ ඉන්දියාවෙන් හිමිවූ ලකුණු 257ක දැවැන්ත ඉලක්කයට පිළිතුරු ලෙස සිම්බාබ්වේට පන්දුවාර 20 තුළදී කඩුලු කඩුලු 6ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 184ක් පමණි.
එහිදී සිම්බාබ්වේ වෙනුවෙන් අනර්ඝ ඉනිමක් ක්‍රීඩාකළ බ්‍රයන් බෙනට් පන්දු 59කට පමණක් මුහුණදෙමින් නොදැවී ලකුණු 97ක් රැස්කළේය. ඔහුගේ ඉනිමට හයේ පහර 6ක් හා හතරේ පහර 4ක් අන්තර්ගත විය.
ඔහුගේ එම ඉනිම හේතුවෙන් සිම්බාබ්වේ ලැබීමට තිබූ දැවැන්ත පරාජයේ බර අඩුවූ අතර, ඒ සමග ඉන්දියාවට බ.ඉ. කොදෙව්වන් අබිබවා 'Group 1' කොටසේ දෙවන ස්ථානයට පැමිණීමට තිබූ අවස්ථාවත් අහිමි විය.
ඒ අනුව එළැඹෙන ඉරිදා (1) පැවැත්වෙන ඉන්දීය - බ.ඉ. කොදෙව් තරගය අතිශය තීරණාත්මක තරගයක් බවට පත්විය.
කෙසේ නමුත් මෙම තරගයේ ප්‍රතිඵලයත් සමග දකුණු අප්‍රිකාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.
