හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ CID අත්අඩංගුවට
February 25, 2026 09:21 am
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ඒ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළවය.
2019 වසරේ අප්‍රේල් 21 වැනිදාට යෙදුණු පාස්කු ඉරුදිනයේ සහරාන් හෂීම් ප්‍රමුඛ මිලේච්ඡ අන්තවාදීන් කණ්ඩායමක් දිවයිනේ ස්ථාන 08කදී සිදුකළ මරාගෙන මැරෙන ප්‍රහාර 10කදී පුද්ගලයින් 273ක් ජීවිතක්ෂයට පත්වුණි.
අනතුරුව අදාළ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශන ඇරඹි අතර පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් සහ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් ඔස්සේද විමර්ශන සිදුකෙරුණි.
එකී සියලු විමර්ශනවලින් අනාවරණය වූ කරුණු මත ත්‍රස්ත ප්‍රහාරය සිදුකළ කණ්ඩායම් සමඟ සෘජුව සම්බන්ධතා පවත්වා තිබූ නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහිව කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකෙරුණු අතර එම නඩුව මේ වනවිට දිනපතා විභාග කෙරෙමින් පවතී.
මෙවැනි පසුබිමක පාස්කු ඉරුදින ප්‍රහාරය පිටුපස ඇති දේශපාලන හස්තයක් ඇතැයි දිගින් දිගටම ඇතැම් පාර්ශ්ව චෝදනා කළ අතර වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු ඒ සම්බන්ධයෙන් විමර්ශන කඩිනම් කෙරුණි.
ඒ අතරවාරයේ බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාළිකාව විසින් විකාශය කරනු ලැබු SRI LANKA'S EASTER BOMBINGS ; DISPATCHES යන වාර්තාමය වැඩසටහන හරහා හිටපු හමුදා බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සහ තවුහිද් ජමාත් සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් පැවති හමුවකදී රාජපක්ෂවරුන් යළි බලයට ගෙනඒම සඳහා රට තුළ අනාරක්ෂිත තත්ත්වයක් ඇතිකිරීමට යෝජනා වූ බවට චෝදනා එල්ලකරනු ලැබීය.
ඒ කලක් පිල්ලෙයාන්ගේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ, දැන් ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරණ පතන අසාද් මව්ලානා සිදුකළ ප්‍රකාශයත් සමගින්ය.
එසේම පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ රහසිගත විමර්ශනයක් පිළිබඳ පසුගිය සමයේ අවස්ථා කිහිපයකදී කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වැඩිදුර වාර්තා මගින් කරුණු දක්වා තිබුණි.
මෙවන් පසුබිමක රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්ව තිබුණේ පෑලියගොඩ ප්‍රදේශයේදීය.
ඔහු මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවෙයි.
