වැලිගම W15 හෝටලය අසල වෙඩි තැබීමේ සිද්ධියට ලංකාවට එද්දි ඇල්ලූ හිටපු IP රිමාන්ඩ්
February 24, 2026 08:02 pm
වැලිගම W15 හෝටලයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ හිටපු පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
එහිදී සැකකරුට බන්ධනාගාරය තුළ විශේෂ ආරක්ෂාවක් ලබා දීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා මීළඟ නඩු වාරය zoom තාක්ෂණය ඔස්සේ කැඳවීමටද නියෝග කළේය.
හිටපු පොලිස් පරීක්ෂකවරයා ඊයේ (23) වැනි දින මෙරටට පැමිණි අවස්ථාවේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ කටුනායක ගුවන් තොටුපළේදීය.
ඒ, 2024 වසරේදී විදෙස්ගත වී නැවත දිවයිනට පැමිණි අවස්ථාවේදීය.
2023 වසරේ දෙසැම්බර් මස 30 වැනිදා රාත්‍රි කාලයේදී විශේෂ මෙහෙයුමක් සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට අයත් පොලිස් නිලධාරීන් 8 දෙනෙකුගේ කණ්ඩායමක් වැලිගම ප්‍රදේශයට ගොස් ඇති අතර එහිදී එම පිරිස වැලිගම පැලෑනේ පිහිටි W15 හෝටලට වෙඩි තබා ඇති අතර පසුව එහි පැමිණි වැලිගම පොලීසියේ ජංගම මුර සංචාරය රථයේ සිටි පිරිස මෙවුන් අපරාධකරුවන් යැයි සිතා ඔවුන් දෙසට වෙඩි තැබීමක් සිදුකර තිබුණි.
මෙම වෙඩි තැබීමෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් දෙදෙනෙක් තුවාල ලැබූ අතර ඒ අතර සිටි පොලිස් සැරයන් උපුල් කුමාර මහතා පසුව ජීවිතක්ෂයට පත්විය.
මෙම ප්‍රශ්නගත අවස්ථාවේ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් එම ස්ථානයට යොමු කිරීම නිත්‍යානුකූල නොවන බවට පවසමින් එවක වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව චෝදනා එල්ල විය.
ඔහුව එම ධුරයෙන් ඉවත් කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගෙන ආ යෝජනාවට අදාළව පත්කෙරුණු පාර්ලිමේන්තු කමිටුවෙන් මෙම සිද්ධිය ගැන දීර්ඝ වශයෙන් විමසා බැලුණි.
එවක විනිසුරු, වත්මන් අග විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතීත්වයෙන් යුත් කමිටුවට w15 හෝටලය වෙඩිතැබීම සඳහා ගිය කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සාක්ෂි ලබාදීමට කැඳවූවත් ඒ අතර සිටි පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත නිලධාරියා ඒ වනවිටත් විදෙස්ගතව සිටියේය.
ඒ හේතුවෙන් කමිටුවේ සභාපති විනිසුරුවරයා විශේෂ සටහනක් කරමින් සඳහන් කළේ පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත 2024 වසරේ විදෙස් ගතවී ඇති බවත් ඔහු නැවත ලංකාවට පැමිණ නැති බැවින් සේවය අතහැර ගියා සේ සලකා පොලිස් දෙපාර්තමේන්තුව ලිපි නිකුත් කර ඇත යන්නය.
W15 හෝටලයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නීති කෘත්යයේදීත් සැකකාර පොලිස් පරීක්ෂක ජගත් නිශාන්තට විදෙස් ගමන් තහනමක් පනවා තිබුණි.
