වැලිගම W15 හෝටලය අසල වෙඩිතැබීමේ සිද්ධියට හිටපු IP ලංකාවට එද්දී අල්ලයි

වැලිගම W15 හෝටලය අසල වෙඩිතැබීමේ සිද්ධියට හිටපු IP ලංකාවට එද්දී අල්ලයි

February 24, 2026   08:19 am

වැලිගම W15 හෝටලයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි හිටපු පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත ඊයේ (23) පස්වරුවේ කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ , 2024 වසරේදී විදෙස්ගත වූ ඔහු නැවත ඊයේ දිවයිනට පැමිණි අවස්ථාවේදීය.

2023 දෙසැම්බර් 30 වැනිදා රාත්‍රී කාලයේ විශේෂ මෙහෙයුමක් සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට අයත් පොලිස් නිලධාරීන් 8 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් වෑන් රථයකින් වැලිගම දක්වා ගොස් තිබුණි.

පසුව එම පිරිස වැලිගම, පැලෑනේ පිහිටි W15 හෝටලයට වෙඩි තබා ඇති අතර පසුව එහි පැමිණි වැලිගම පොලිසියේ ජංගම මුර සංචාරක රථයේ සිටි පිරිස, මොවුන් අපරාධකරුවන් යැයි සිතා ඔවුන් දෙසට වෙඩි තැබීමක් සිදුකර ඇත.

මෙම වෙඩි තැබීමෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් දෙදෙනෙක් තුවාල ලැබූ අතර ඒ අතර සිටි පොලිස් සැරයන් උපුල් කුමාර මහතා පසුව ජීවිතක්ෂයට පත්විය.

මෙම ප්‍රශ්නගත අවස්ථාවේ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් එම ස්ථානයට යොමු කිරීම නිත්‍යානුකූල නොවන බවට පවසමින් එවක වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව චෝදනා එල්ල විය.

ඔහුව එම ධුරයෙන් ඉවත් කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගෙන ආ යෝජනාවට අදාළව පත්කෙරුණු පාර්ලිමේන්තු කමිටුවෙන් මෙම සිද්ධිය ගැන දීර්ඝ වශයෙන් විමසා බැලුණි.

එවක විනිසුරු, වත්මන් අග විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතීත්වයෙන් යුත් කමිටුවට w15 හෝටලය වෙඩිතැබීම සඳහා ගිය කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සාක්ෂි ලබාදීමට කැඳවූවත් ඒ අතර සිටි පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත නිලධාරියා ඒ වනවිටත් විදෙස්ගතව සිටි‍යේය.

ඒ හේතුවෙන් කමිටුවේ සභාපති විනිසුරුවරයා විශේෂ සටහනක් කරමින් සඳහන් කළේ පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත 2024 වසරේ විදෙස් ගතවී ඇති බවත් ඔහු නැවත ලංකාවට පැමිණ නැති බැවින් සේවය අතහැර ගියා සේ සලකා පොලිස් දෙපාර්තමේන්තුව ලිපි නිකුත් කර ඇත යන්නය.

W15 හෝටලයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නීති කෘත්‍යයේදීත් සැකකාර පොලිස් පරීක්ෂක ජගත් නිශාන්තට විදෙස් ගමන් තහනමක් පනවා තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකරු අද (24) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.