ගෑස් මෙට්‍රික් ටොන් 3900ක් රැගත් නෞකාවක් කොළඹ වරායට
February 22, 2026 04:51 pm
ගෑස් මෙට්‍රික් ටොන් 3900ක් රැගත් නෞකාවක් අද (22) දින දිවයිනට පැමිණ තිබේ.
ලිට්රෝ ගෑස් සමාගම සඳහන් කළේ, එමඟින් ගෘහස්ත ගෑස් සිලින්ඩර 300,000 නිකුත් කිරීමට නියමිත බවය.
එමෙන්ම ගෑස් මෙට්‍රික් ටොන් 3900ක් සහ 3700ක් රැගත් නෞකා දෙකක් ලබන 24 සහ 28 යන දිනයන්හිදී මෙරටට ළඟාවීමට නියමිතව ඇත.
කෙසේ වෙතත් අදත් (22) දිවයිනේ ප්‍රදේශ කිහිපයක ගෑස් හිඟයක් පැවති බවට තොරතුරු වාර්තා විය.
පසුගිය දින කිහිපය තුළ දිවයිනේ ප්‍රදේශ රැසක ලිට්රෝ සහ ලාෆ්ස් ගෑස් හිඟයක් පවතින බවට පාරිභෝගිකයින්ගෙන් තොරතුරු ලැබුණු අතර ඇතැම් ස්ථානවල ගෑස් මිලදී ගැනීම සඳහා පාරිභෝගිකයන් පෝලිම්වල රැඳී සිටිනු දක්නට ලැබිණි.
පවතින තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලිට්රෝ ගෑස් සමාගම නිවේදනය කළේ අවශ්‍ය පරිදි ප්‍රමාණවත් තොග පවත්වා ගැනීම සඳහා නව ඇණවුම් සිදුකර ඇති අතර පෙබරවාරි මාසය අවසන්වීමට පෙර ගෑස් නෞකා තුනක් පැමිණීමට නියමිතව ඇති බවය.
මාර්තු මස 12 වැනිදා සිට ලිට්රෝ ගෑස් සිලින්ඩර වැඩි ප්‍රමාණයක් වෙළඳවෙළෙපොලට නිකුත් කිරීමට බලාපොරොත්තු වන වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පසුගියදා කියාසිටියේය.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අදහස් පළ කරන වෙළෙදුන් පවසන්නේ ගෑස් පැමිණෙන නිශ්චිත දිනයක් සම්බන්ධයෙන් ලිට්රෝ සමාගම තමන්ව දැනුවත් කර නොමැති බවය.
