යුද හමුදා නිලධාරීන් කිහිප දෙනෙකුට දුම්රිය පුහුණව ලබා දීමේ තීරණය තාවකාලිකව අත්හිටුවයි

යුද හමුදා නිලධාරීන් කිහිප දෙනෙකුට දුම්රිය පුහුණව ලබා දීමේ තීරණය තාවකාලිකව අත්හිටුවයි

February 17, 2026   09:53 pm

යුද හමුදා නිලධාරීන් 20 දෙනෙකු සඳහා දුම්රිය රියදුරු පුහුණුව ලබා දීමේ තීරණය තාවකාලිකව නතර කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන සහ මහාමාර්ග නියොජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

ඔහු පැවසුවේ දුම්රිය රියදුරන්ගේ මෙම වැඩ වර්ජනය හේතුවෙන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට ඒ සඳහා බලපෑමක් ඇති විය හැකි බැවින් ඒ පිළිබඳව අවධානය යොමු කර මෙම පියවර ගත් බවය.

ඒ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා,

"ඇත්තටම අපි මේක පිළිකුළෙන් යුතුව හෙළා දකිනවා. මොකද පහුගිය දිට්වා සුලි කුණාටුව පැවැති අවස්ථාවේදී යුද හමුදාව කොච්චර කැපවීමෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට, ප්‍රවාහන දෙපාර්තමේන්තුවට, අමාත්‍යාංශයට කොච්චර උදව් කළාද කියලා අපි දන්නවා දැනටමත් අපි කෝච්චි පාරවල් හදන්න උදව් කරලා තියෙනවා, කෝච්චි එන්ජිං හදන්නත් ඒ ගොල්ලෝ දැන් මාස දෙකක් තිස්සේ රත්මලානේ උදව් කරනවා. යුද හමුදාවේ ඉංජිනේරුවෝ ඇවිල්ලා බේල් පාලම් හයි කරනවා එතකොට යුද හමුදාවේ සහභාගීත්වය කොච්චරද කියලා අපිට පේනවා.  ඉතිං මේවගේ හදිසි අවස්ථාවකදි මේ වගේ කණ්ඩායමකට වෘත්තිය පුහුණුව තිබීමේ වටිනාකම අපි අත්වින්දා අමාත්‍යාංශයක් විදිහට. ඒ නිසා තමයි මේ 20 දෙනෙකුට මේ පුහුණුව ලබා දෙන්න අපි තීරණය කෙරුවේ. නමුත් හාරලක්ෂ පනස් දහසකට ආසන්න ප්‍රමාණයක් මෙවර සාමාන්‍යපෙළ විභාගය සඳහා මුහුණ දෙනවා.  එක ළමයෙකුට හරි අනවශ්‍ය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය නිසා තමන්ගේ කඩඉම පසු කර ගැනීම සඳහා යම් කිසි ප්‍රවාහන අපහසුතාවයකට පත්වුණොත් ඒක අපිට දරාගන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ නිසා තාවකාලිකව මේ පුහුණුව සඳහා යොදපු යුද හමුදා නිලධාරීන් 20 අපි නවත්වනවා."