අකුරේගොඩ ද්විත්ව ඝාතනය සම්බන්ධව පොදුජන පෙරමුණ නීතිඥ සංගමයෙන් නිවේදනයක්
February 16, 2026 08:31 pm
අකුරේගොඩදී පසුගියදා වෙඩි ප්‍රහාරයකට ලක්වූ නීතිඥ බුද්ධික මල්ලවආරච්චි සහ ඔහුගේ බිරිඳගේ ඝාතනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කර තිබේ.
එමගින් ඔවුන් සඳහන් කර ඇත්තේ අදාළ වර්තමාන රජය විසින් රටේ ජාතික ආරක්ෂාව හා ජන ජීවිතයේ සුරක්ෂිතතාව ඉතා දරුණු ලෙස බිඳ දමා ඇති බවය.
සෑම දිනකම සාහසිකයින්ගේ වෙඩි පහරින් මියයාම් සහ සිද්ධිය සිදුවී ඉතා සුළු වේලාවකින් පරීක්ෂනයකින් තොරව එකී සිද්ධිය පාතාලය හා සම්බන්ධ කිරීම මගින් සාමාන්‍ය සිද්ධියක් බවට පත් කිරීමට රජය විසින් උත්සාහ දරා ඇති බවත් පොදුජන පෙරමුණේ නීතිඥයින් සිය නිවේදනය මගින් චෝදනා කර තිබේ.
මාතෘ භූමියේ ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීම හා ජන ජීවිතය ආරක්ෂා කිරීම රජයේ අනන්‍ය සහ ප්රමුඛ වූ වගකීමක් බවත් පෙන්වා දෙන එම පොදුජන පෙරමුණ නීතිඥ සංගමය සඳහන් කර ඇත්තේ රජය හිතාමතා හෝ නොහැකියාව නිසාවෙන් සහ වෙනත් යම් දේශපාලන අරමුණක් හේතුවෙන් එකී වගකීම්වලින් පැහැර හැර ඇති බවය.
දශක තුනක් පුරාවට ඇදී ගිය යුදමය තත්ත්වය අවසන් කර උතුරේ සිට දකුණ දක්වාත් නැගෙනහිර සිට බස්නාහිර දක්වාත් මෙරට ජනතාවට බියෙන් සහ සැකයෙන් තොරව නිදහසේ ජීවත්වීමේ ඉඩහරස ලබා දීමට නායකත්වය දුන් නායකයින් මෙහෙවන ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නීතිඥයින් ලෙස මෙම ඛේදජනක තත්ත්වය සම්බන්ධව ඉමහත් කම්පනයට පත්වන බවත් පෙන්වා දී ඇති එම සංගමය සඳහන් කර ඇත්තේ මෙය මෙරට නැවතත් ආරජිකත්වයක් කරා ගමන් ගන්නා තත්ත්වයක් ලෙස දක්නට ලැබෙන බවය.
මේ හේතුවෙන් ජාතික ආරක්ෂාව පෙර පරිදි නැවත ප්‍රතිසංවිධානය කරන ලෙසත් සාමාන්‍ය ජනතාවගේ නීතිඥවරුන් ඇතුළු වෘත්තියවේදීන්ගේත් ආරක්ෂාව තහවුරු කරන ලෙසත් වර්තමාන රජයට බල කරන බවත් පොදුජන පෙරමුණ නීතිඥ සංගමය සිය ලිපිය මගින් වැඩිදුරටත් දන්වා තිබේ.
