විදුලිය ගාස්තු සංශෝධනයට පාර්ශ්ව රැසකගේ විරෝධය 

විදුලිය ගාස්තු සංශෝධනයට පාර්ශ්ව රැසකගේ විරෝධය 

February 15, 2026   01:09 pm

2026 වසරේ දෙවන කාර්තුව සඳහා සියයට 13.56ක විදුලි ගාස්තු ඉහළ නැංවීමේ ලංකා විදුලිබල මණ්ඩලයේ යෝජනාවට පාර්ශ්ව රැසක්  විරෝධය පළ කර තිබේ.

වෘත්තීය සංගම් නියෝජිතයින් පවසන්නේ ගල් අඟුරු වංචාවෙන් සිදුවූ පාඩුව ද විදුලි ගාස්තුවෙන් පියවා ගැනීමට ආණ්ඩුව උත්සාහ දරන බවය.

වසරකට සිව්වතාවක් සිදුකරන විදුලි සංශෝධනයට අනුව 2026 වසරේ පළමු කාර්තුවට සඳහා ලංකා විදුලිබල මණ්ඩලය සියයට 11.57ක විදුලි ගාස්තු ඉහළ දැමීමක් යෝජනා කළ ද ඊට උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමිවූයේ නැත.

නිසි කාලය තුල විධිමත් ගාස්තු සංශෝධන යෝජනාවක් ඉදිරිපත් නොකිරීම සැලකිල්ලට ගනිමින් ගාස්තු සංශෝධනයක් සිදු නොකිරීමට කොමිෂන් සභාව තීරණය කර තිබූ අතර 2026 දෙවන කාර්තුව සදහා ගාස්තු සංශෝධන යෝජනාව පෙබරවාරි 13 වැනිදාට පෙර ඉදිරිපත් කරන ලෙස ඔවුන් විදුලි බල මණ්ඩලයට දැනුම්දීමක් සිදුකර තිබිණි.

ඒ අනුව 2026 වසරේ දෙවන කාර්තුව සඳහා සියයට 13.56ක විදුලි ගාස්තු ඉහළ නැංවීමක් ඉල්ලා ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත යෝජනාවලියක් ඉදිරිපත් කර ඇත.

ඒ, එළැඹෙන අප්‍රේල් 01 වැනිදා සිට ජුනි 30 වැනිදා දක්වා කාල සීමාවට අදාළවය.

අදාළ යෝජනාවලිය සමාලෝචනය කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ මහජන අදහස් විමසීමට පියවර ගන්නා අතර අනතුරුව ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සිය තීරණය දැනුම්දීමට පියවර ගන්නා බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරයි.