මන්නාරමේදී නාවික හමුදා භාරයට ගත්  ඩිංගි යාත්‍රාවේ තිබී  හෂිස් තොගයක් සොයාගනී

මන්නාරමේදී නාවික හමුදා භාරයට ගත් ඩිංගි යාත්‍රාවේ තිබී හෂිස් තොගයක් සොයාගනී

February 14, 2026   05:28 pm

මන්නාරමට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී, අද (14) නාවික හමුදා භාරයට ගත් ඩිංගි යාත්‍රාව තුළ තිබී හෂිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 50කට අධික තොගයක් සොයා ගෙන තිබේ.

නාවික හමුදාව විසින් මන්නාරම දකුණු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම ඩිංගි යාත්‍රාව සහ සැකකරුවන් දෙදෙනා සිය භාරයට ගෙන ඇත.

ඒ අනුව අදාළ ඩිංගි යාත්‍රාව, විෂ මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක කෙරෙන උර දෙක සහ සැකකරුවන් දෙදෙනා මන්නාරම තාල්පාඩු ජැටිය වෙත රැගෙන ආවේය.

එහිදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් සිදු කළ විශේෂඥ පරීක්‍ෂාවේදී, එම උර දෙකෙහි තිබී මෙලෙස හෂිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50කට අධික තොගයක් සොයා ගෙන තිබේ.

එම ඩිංගි යාත්‍රාව, හෂිස් මත්ද්‍රව්‍ය තොගය සමඟ සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාර දී ඇත.