විපක්ෂනායකවරයා පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් බැහැදකී
February 14, 2026 01:58 pm
සමාජ මාධ්‍ය හරහා කොතෙකුත් ප්‍රහාර සිදු වුවත් ගමන නිවැරදි නම් ඉවසීම ඇත්නම් සමාජ මාධ්‍ය හරහා සිදුකරන මඩ ප්‍රහාර නොතැකිය යුතු බවත් කෙදිනක හෝ සත්‍ය ජය ගන්නා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ කොළඹ නාරාහේන්පිට අභයාරාමයේදී මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ මුණ ගැසුනු අවස්ථාවේ දීය.
තමා තරයේ විශ්වාස කරන ආකාරයට සත්‍ය ජය ගන්නා බවත් එදා රණසිංහ ප්‍රේමදාස මහතාට දෝශාභියෝගය ගෙන ආ අවස්ථාවේ එදා පෙනී සිටියේ ද මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ බවත්, තමා චීවරයටත් මහා සංඝ රත්නයට, ආගමික නායකයන්ට ගරු කරන බවත් එය කිසිදින වෙනස් නොවන බවත් විපක්ෂ නායකවරයා මෙහිදී පැවසීය.
ICCPR යන ප්රඥප්තිය තුළ ආගම් හා ආගමික නායකයන් කේන්ද්‍ර කර ගෙන වෛරය පතුරවන සංහිදියාව බිද වැටෙන ප්‍රකාශ නවත්වන නමුත් ඊට වඩා ඉහළින් රටේ එකමුතුභාවය සාමුහිකත්වය රැක ගන්නා වගකීම ජනාධිපතිවරයා භාරගත යුතු බව ද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
එමෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසුවේ සියලුම ආගම් ජන කොට්ඨාස පක්ෂ නියෝජනය වන කවුන්සිලයක් ගොඩනගා ඒ හරහා මේ ගැටලු සාකච්ඡා කළ යුතු බවත් ජාතිවාදය ආගම්වාදය වර්ගවාදය ජාතිභේද ඇති කිරීමට ඉඩ දිය නොහැකි බවත් ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව දක්වා ඇති ආකාරයට බුදු සසුන රැක ගන්නවාසේම සෙසු ආගම් ජාතින් ආරක්ෂා කරන්න වැඩ කළ යුතු බවත් මේ දෙවැනි පරිච්ඡේදයේ සදහන් කරුණු රජය ක්‍රියාත්මක නොකරන බවත් එහිදී විපක්ෂ නායකවරයා පැවසීය.
මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෙවැනි පරිච්ඡේදයට අනුව මහා සංඝරත්නයට අපහාස කළ නොහැකි බවත් මේ ගැන පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටත තමා කතා කළ බවත් මිහින්තලේ නායක ස්වාමීන් වහන්සේට වනචාරියා ලෙස පවා මේ රජයේ ඇමතිවරු අපහාස කළ බවත් සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
එදා බුද්ධ ශාසනයට ප්‍රමුඛත්වය දී බුද්ධ ශාසන අමාත්‍යාංශයක් ඇති කර සෙසු ආගම්වලට රාජ්‍ය අමාත්‍යාංශයක් ඇති කළත් දැන් එය නොමැති වීම ද ගැටලුවක් බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පෙන්වා දුන්නේය.
කෙසේවෙතත් මෙහිදී අදහස් දක්වමින් මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ පැවසුවේ භික්ෂූන් වහන්සේලාට ගැරහීම් සිදු වූයේ වත්මන් රජය යටතේ බවත් ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ සමයේ බුද්ධ ශාසන අමාත්‍යාංශය යටතේ දුර සිටින ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් වෙනමම ධර්ම ශාලා සකස් කළ බවත් දැන් ඒ කිසිවක් සිදු නොවන බවත් එය කණගාටුවට කරුණක් බවත් ය.
