කස්සප හිමිගේ චෝදනාවට  වටගලගෙන් පිළිතුරු

කස්සප හිමිගේ චෝදනාවට වටගලගෙන් පිළිතුරු

February 13, 2026   08:33 pm

තමා සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ මාධ්‍ය වෙත සිදුකරමින් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් අපේක්ෂා කරන යටි අරමුණු ඉටු කරගත නොහැකි බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ තමා කිසිවිටෙක හෝ නියෝජිතයෙකු හෝ පෞද්ගලිකව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්ට දුරකථන ඇමතුමක් ලබානොදුන් බවය.

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධියේ නඩුවට අදාළව පසුගිය ජනවාරි 14 වැනිදා රක්ෂිත බන්ධනාගාරගත කළ පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් දින 28කට පසු අධිකරණය විසින් පසුගිය 11වැනිදා ඇප මත මුදා හැරුණි.

උන්වහන්සේ ඊයේ (12) දිනයේදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් කරුණු රැසක් අනාවරණ කළ අතර ආණ්ඩු පාර්ශ්වයේ නියෝජිතයින් තමන්ට සහ සිද්ධියට සම්බන්ධ සෙසු ස්වාමීන් වහන්සේට අමතා බලපෑම් කළ බවටද එහිදී උන්වහන්සේ සඳහන් කර තිබුණි.

කස්සප හිමියන් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා අදහස් පළකරමින් සඳහන් කළේ, "මුසාවාදා වෙරමණී සික්ඛාපදං සමාදියාමි කියන ගාථා පාටය අපිට උගන්වන්නෙත් ගෞරවණීය ස්වාමීන්වහන්සේලා තමයි. මේක අමූලික බොරුවක් බව කස්සප හාමුදුරුවෝ හොඳටම දන්නවා" යනුවෙනි.