පාස්පෝට් ගන්න කිසිදු කාර්යාලයකට අද එන්න එපා - පාස්පෝට් කාර්යාලයෙන් දැනුම්දීමක්
February 13, 2026 06:02 am
විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා කිසිවෙකුත් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ කාර්යාල වෙත අද (13) නොපැමිණෙන ලෙස දැනුම් දී තිබේ.
මහජන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටින්නේ පරිගණක පද්ධති බිඳවැටීම තවමත් යථා තත්ත්වයට පත් කර නොමැති බැවින්, අද දිනයේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයට හෝ ප්‍රාදේශීය කාර්යාල වෙත නොපැමිනෙණ ලෙසය.
පරිගණක පද්ධතියේ බිඳවැටීම යථාතත්ත්වයට පත්කිරීමට මේ වනවිටත් කටයුතු කරමින් සිටින බව සඳහන්ය.
සාමාන්‍ය සේවාවන් ලබන 16 සඳුදා දින නැවත ආරම්භ වන අතර අද දින අයඳුම්කරුවන්ට එදින ප්‍රමුඛතාවය ලබාදෙන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ඇත.
මේ අතර ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ බිඳවැටීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ එහි මාධ්‍ය ප්‍රකාශක මහේෂ් කරුණාදාස මහතා,
"ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය තුළ සිදුව හදිසි තාක්ෂණික දෝෂයක් නිසා අපිට එක්දින සහ සාමන්‍ය ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ හැකියාවක් තිබුණේ නැහැ. මෙම තත්ත්වය මේ අවස්ථාව වනවිටත් කාර්යාලයේ නිලධාරී මණ්ඩලය මෙන්ම අවශ්‍ය තාක්ෂණික කමිටුවක් විසින් මේක යථාවත් කිරීමට කටයුතු කරනවා. මේක යථාවත් බවට පත්කළ හොත් අපිට පුළුවන් ඒ මොහොතේ පටන් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා වීසා නිකුත් කිරීමේ කටයුතු ආරම්භ කරන්න. අපට ඉතා හදිසි නොවන අවස්ථාවකදී ගමන් බලපත්‍ර ලබාගැනීමට මහජනතාව පෙළඹෙන්නේ නම් ලබන සතියේ සිට මෙම කාර්යාලයට හෝ අපගේ ශාඛා කාර්යාල වෙත ගමන් කරන ලෙසට මහජනතාව දැන්වත් කරන්නේ."
"අපගේ 1962 දුරකථන අංකය වෙබ් පිටුවට ඔබගේ අවධානය යොමුකරලා පැමිණීමේ හැකියාව තියෙනවා. අපගේ වෙබ් පිටුව තුළ නිරන්තරයෙන් අපි මේ පිළිබඳව යාවත්කාලීන කරනවා. ඔබට හැකියාව තියෙනවා අපේ දත්ත පද්ධතිය යාවත්කාලීන වුණ වහාම මෙම කාර්යාලයට පැමිණෙන්න. එසේ නොපැමිණෙන්නේ නම් 1962 දුරකථන අංකය මගින් විමසලා මහජනතාවට ඕනෑම අවස්ථාවදී කාර්යාලයට පැමිණෙන්න. එහෙම නොවන අවස්ථාවකදී ලබන සතියේදී ප්‍රධාන කාර්යාලයට හෝ ශාඛා කාර්යාලයකට පැමිණෙන්න. දත්ත පද්ධතියේ තාක්ෂණික දෝෂය සියලුම ශාඛාවලට බලපානවා."
