අමරකීර්ති ඝාතන නඩුවේ 12කට මරණ දඬුවම
February 11, 2026 12:48 pm
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ම්ලේච්ඡ ලෙස පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරුවන් වූ 12 දෙනෙකුට ගම්පහ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විසින් අද (11) මරණ දඬුවම නියම කරනු ලැබීය.
තීන්දුව ප්‍රකාශයට පත්කෙරුණේ බෙදුණු තීන්දුවක් ලෙසය.
නඩුවේ තීන්දුව ප්‍රකාශ කෙරුණේ නඩු විභාගය ඇරඹී වසර තුනහමාරක් ඇතුළතදීය.
අරගලය පැවති සමයේ 2022 මැයි 9 වනදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකීර්ති අතුකෝරල හා ඔහුගේ ආරක්ෂක නිලධාරී පොලිස් සැරයන් ජයන්ත ගුණවර්ධන නිට්ටඹුව නගර මධ්‍යයේදී ප්‍රචණ්ඩකාරීව හැසිරුණු පිරිසකගේ අමානුෂික පහරදීමකින් ඝාතනයට ලක්විය.
ඒ, එදින අරලියගහ මන්දිරයේ පැවැති ජන හමුවකට සහභාගි වී ආපසු පොළොන්නරුවේ සිය නිවස බලා යමින් සිටියදීය.
පහරදුන් පිරිස් ඔවුන් දෙදෙනාට අමානුෂික අන්දමින් පොලු මුගුරුවලින් පහරදී තිබූ අතර එම පහරදීම සීසීටීවී කැමරාවලද සටහන්ව තිබුණි.
ඝාතනය පිළිබඳ විමර්ශන දියත් කෙරුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක හා මනුෂ්‍ය ඝාතන විමර්ශන කොට්ඨාසයේ එවක අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙනි.
ඒ අනුව අදාළ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 41 දෙනෙකු අත්අඩංගුවටගත් අතර ඔවුන් අතරට විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙක්, ත්‍රිරෝද රථ රියදුරන්, නිට්ටඹුව ප්‍රදේශයේ වෙළෙඳසැල් හිමිකරුවන් ඇතුළු ප්‍රදේශවාසීන්ද අයත් විය.
එම ම්ලේච්ඡ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවැති මූලික නඩු කටයුතුවලින් අනතුරුව නීතිපතිවරයා විත්තිකරුවන්ට එරෙහිව ගම්පහ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කළේය.
මෙම නඩුව විභාග කිරීම සඳහා විශේෂ විනිසුරු මඬුල්ලක් පත්කරන ලෙස නීතිපතිවරයා අගවිනිසුරුගෙන් ඉල්ලීමක් කර තිබූ අතර ඒ අනුව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඬුල්ලක් පත්කෙරුණි.
එම මඩුල්ලේ සභාපති ලෙස මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතා පත්කළ අතර රශ්මි සිංගප්පුලි හා රෂන්ත ගොඩවෙල යන මහාධිකරණ විනිසුරුවරුන් දෙදෙනා එහි සෙසු සාමාජිකයන් ලෙස පත්කරනු ලැබීව.
නීතිපතිවරයා අධිචෝදනා 14ක් යටතේ විත්තිකරුවන් 41 දෙනාට එරෙහිව මෙම නඩුව පවරා තිබූ අතර එම විත්තිකරුවන්ගෙන් 13 වැනි සහ 31 වැනි විත්තිකරුවන් නඩු විභාගය අතරදී මියගොස් තිබුණි.
39 වැනි සහ 40 වැනි විත්තිකරුවන් අධිකරණය මගහැර පලාගොස් ඇති අතර ඔවුන් නොමැතිව අනතුරුව නඩුව විභාග කෙරුණි.
මෙම නඩුව තීන්දුව සඳහා ඉකුත් ජනවාරි 14 වනිදා කැඳවූ අවස්ථාවේදී නඩුවට අදාළව ලිඛිත දේශන ඉදිරිපත් කිරීමේදී නීතිපතිවරයාගේ ඇති වූ ප්‍රමාදයක් හේතුවෙන් තීන්දුව ප්‍රකාශයට පත්කිරීම විනිසුරු මඬුල්ල අද දිනට කල් තබා තිබුණි.
ඒ අනුව, අද දිනයේ දී බහුතර විනිසුරු තීන්දුව ප්‍රකාශයට පත්කළ මහාධිකරණ විනිසුරු රෂන්ත ගොඩවෙළ මහතා එම තීන්දුව සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළේය.
"මෙම තීන්දුව මා සහ විනිසුරු රශ්මි සිංගප්පුලි නැවත නැවතත් ලේඛන, සාක්ෂි, වීඩියෝ පට කෙරෙහි අවධානය යොමු කරමින් දෙදෙනාගේම එකඟත්වයෙන් ලියපු තීන්දුවක්. ප්රමුඛ වශයෙන් අපගේ අවධානය යොමුවුණේ ප්‍රශ්නගත නීතිවිරෝධි රැස්වීම ආරම්භ වූ අවස්ථාව පිළිබඳව. ඒ පිළිබඳ පැමිණිල්ලේ ස්ථාවරය වුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජීප් රථයෙන් බැස්ස අවස්ථාවේ සිට මෙම නීතිවිරෝධී රැස්වීම ආරම්භ වුණා කියලා. නමුත් අපගේ ස්ථාවරයේ එදින රටේ පැවති වාතාවරණය මත ඒ වනවිටත් එම ස්ථානයේ නීතිවිරෝධි රැස්වීමක් ආරම්භ වී තිබුණා. නමුත් මේ නඩුවට පාදක වන පොදු අරමුණු කරගත් නීතිවිරෝධී රැස්වීම ආරම්භ වුණේ මන්ත්‍රීවරයාගේ ආරක්ෂක නිලධාරියා වෙඩි තැබීමක් සිදුකළාට පස්සේ. එවිටයි මන්ත්‍රීවරයා සහ ආරක්ෂක නිලධාරියා පසුපස ගල්පොලු අරගෙන පිරිසක් එළවන්නේ. මේ නඩුවේ අපහසුම දේ වුණේ සැකකරුවන්ගේ අනන්‍යතාවය හඳුනාගැනීම. ඇසින් දුටු සාක්ෂිකරුවන් කවුරුත් සිටියේ නැහැ. ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට තමයි වෝහාරික මුහුණු විශ්ලේෂණය ඔස්සේ සැකකරුවන්ගේ අනන්‍යතාවය හඳුනා ගත්තේ. එය සාක්ෂි ආඥා පනත යටතට වැටෙන සාක්ෂි ලෙස අපි පිළිගන්නවා. නමුත් වීඩියෝවල සිටින සියලුම දෙනා සිද්ධියට සම්බන්ධයි කියලා කියන්න බැහැ. ලංකාවේ මිනිස්සුන්ගේ සාමාන්‍ය විදිහ තමයි සිද්ධියක් වුණාම එය අවසන් වනතුරු එතන රැඳීසිටීම. එබැවින් මේ අපරාධයට මොනවාමහරි දායකත්වයක් දැක්වීම මත වරදකාරභාවය තීරණය කළා."
බහුතර විනිසුරු මතය අනුව නඩුවේ සැකකරුවන් 23 දෙනෙකුට එරෙහිව ගොනුකර තිබූ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල අපොහොසත්වීම මත එම සැකකරුවන් 23 දෙනා සියලු චෝදනාවලින් නිදොස්කොට නිදහස් කිරීමට විනිසුරුවරුන් දෙපළ නියෝග කළා.
ඒ අතරට සැකකාර විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනාද අයත් වේ.
පසුව තවත් සැකකරුවන් සිව්දෙනෙක් නීතිවිරෝධී රැස්වීමක සමාජිකයන්වීමට වරදකරු බවට තීන්දුකළ විනිසුරුවරුන් දෙපළ එම සැකකරුවන්ට මාස 06ක සිරදඬුවමක් නියම කරමින් එය වසර 05ක අත්හිටුවීමට නියම කළේය.
එසේම එම සැකකරුවන් සිව්දෙනාටම රුපියල් 10,000 බැගින් දඩමුදල් ගෙවීමටද, සිදුවීමෙන් මියගිය පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාගේ බිරිඳට සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාගේ බිරිඳට රුපියල් 50,000 බැගින් වන්දි ගෙවන ලෙසද බහුතර විනිසුරු නියෝගයේ සඳහන් විය.
පසුව මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි සහ මහාධිකරණ විනිසුරු රෂන්ත ගොඩවෙල සෙසු සැකකරුවන් 12 දෙනා ඔවුනට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය ප්‍රකාරව එල්ලකර තිබූ මිනී මැරීමේ චෝදනාවට වරදකරු බව ප්‍රකාශ කළේය.
මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් මෙම නඩුව මෙහෙයවූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා විවෘත අධිකරණය ඇමතීය.
" ස්වාමිනි, මෙම තීරණය සම්බන්ධයෙන් මම ඔබ දෙපළට ස්තූතිවන්තවෙනවා. මේ නඩුවේදී අපි දැක්කා උසාවියට ඇවිල්ලා දහයට ගණන් කරගන්න බැරි මිනිස්සු එම අවස්ථාවේ හැසිරිලා තිබුණු මිලේච්ඡ විදිහ. නීතියේ ආධිපත්‍යය නැතිවුණාම මිනිස්සු සත්තු වගේ හැසිරුණේ. ඔවුන් මහමඟයි යුක්තිය දිනාගැනීමට උත්සාහ කළේ. මේ නඩුවේදී අපි 31 දෙනෙකුට එරෙහිව මිනීමැරීමේ චෝදනාත්, 36 දෙනෙකුට එරෙහිව ඝාතනයට ලක්වූ මන්ත්‍රීවරයාගේ වාහනයට අනර්ථයක් කිරීමේ චෝදනාත් නගා තිබුණා. නමුත් ඔබ මිනීමැරීමේ චෝදනාවට වරදකරු කරලා තියෙන්නේ 12 දෙනෙකු පමණයි. ඔබේ සම්පූර්ණ තීන්දුව ලැබුණාට පස්සේ මම හිතනවා ඇතැම්විට නීතිපතිවරයා අභියාචනයකට යයි කියලා."
අනතුරුව මිනී මැරීමේ චෝදනාවට වරදකරුවන් වූ සැකකරුවන්ට මරණ දඬුවම නියම කිරීමට පෙර යමක් කීමට ඇත්දැයි අධිකරණය විමසීය.
එහිදී සැකකරුවන් 12 දෙනාම විත්තිකූඩුවේ සිටිමින් තමන්ට ලිහිල් දඬුවමක් ලබාදෙන ලෙස ඉල්ලා සිටී අතර මේ එහිදී සැකකරුවන් දැක්වූ අදහස් කිහිපයකි.
පළමු සැකකරු - " ස්වාමිනි, මට දරුවෝ 04 දෙනෙක් ඉන්නවා. ලොකු දුවට අවුරුදු 22යි, පොඩි දුවට අවුරුදු 02යි. එයාලාට අම්මාත් නැහැ. මේ සිදුවීම වුණේ මගේ ගේ ඉදිරිපිට. නමුත් මා මේ කිසිවකට සම්බන්ධ නැහැ. "
හතරවන සැකකරු - "ස්වාමිනි, මම අද ආවේ තාත්තා එක්ක. තාත්තා එළියේ බලාගෙන ඉන්නවා. එයාට දැන් ගොඩාක් වයසයි. පවුලේ 06ක් ඉන්නවා. මම තමයි මල්ලිලා නංගිලාගේ ඉගෙනීමට වියදම් කරන්නෙත්. "
පස්වැනි සැකකරු - "මට දරුවෝ 05ක් ඉන්නවා. මගේ අක්කා නැති වුණාට පස්සේ ඒ දරුවෝ ඉන්නෙත් මං ළඟ. අපි ඔක්කෝම දැනටත් කුලියට ඉන්නේ. මේ මරණවලට මගේ කිසිම සම්බන්ධයක් නැහැ. මට මරණ දඬුවම දෙනවානම්, මගේ දරුවන්ටත් මරණ දඬුවම දුන්නාට කමක් නැහැ. මොකද මම නැතුව එයාලට ජීවත්වෙන්න බැහැ."
හයවන සැකකරු - " ස්වාමිනි, මට කියන්න තියෙන්නේ මම නිවැරදිකරු කියලා විතරයි. ගෙදර අයත් එක්ක පොඩ්ඩක් කතාකරන්න ඕනේ. මට එයාලට කියන්න දේවල් තියෙනවා."
හත්වන සැකකරු - " මම කිසිම දේකට සම්බන්ධ නැහැ. මම ගියෙත් එතනට හවස 06ට විතර. මම ඇඳගෙන හිටියේ දම්පාට කමිසයක්. වීඩියෝවල ඒ වගේ කමිසයක් තියෙනවා කියලයි මාව අත්අඩංගුවට ගත්තේ. "
දහහතර වන සැකකරු - " මගේ තාත්තා මියගිහින්. මම තමයි අම්මාවයි නංගිවයි බලාගන්නේ. මම කඩේට ගියාට පස්සෙයි අරගලය පටන් ගත්තේ. මම ඒවාට සම්බන්ධ නැහැ. මියගිය කෙනා මන්ත්‍රීවරයෙක් කියලා අපි දැනගෙන හිටියෙත් නැහැ. මට අම්මාටයි නංගිටයි කතා කරන්න ඕනේ"
දහනවවන සැකකරු - " මම බලන්න විතරයි ගියේ. අතක්වත් තිබ්බේ නැහැ. මට ගෙදර අයට කතා කරන්න ඕනේ. "
විසිහත්වන සැකකරු - "මේ සියලු චෝදනාවලට මම නිවැරදිකරු. මම කාවවත් මැරුවේ නැහැ. මගේ පුංචි පුතාට ළඟදිත් ඔපරේෂන් එකක් කළා. තව කරන්නත් තියෙනවා. මට එයාලව බලන්න ඕනේ. "
විත්තිකරුවන් විත්තිකූඩුවේ සිට මෙම ප්‍රකාශ කිරීමෙන් පසු විවෘත අධිකරණයේ විදුලි බුබුළු නිවා දමා විදුලි පංකා ක්‍රියා විරහිත කර අධිකරණශාලාව නිශ්ශබ්ද කරනු ලැබීය.
පසුව සියලුදෙනා නැගී සිටීමෙන් පසු මහාධිකරණ විනිසුරු රෂ්මි සිංගප්පුලි මහතා විත්තිකරුවන්ට මරණ දඬුවම නියම කරමින් නියෝගය කියවනු ලැබීය.
"යුෂ්මතුන් චෝදනාවලට වරදකරු කර ඇති බැවින් ඊට දියයුතු දඬුවම මරණීය දණ්ඩනය වන බැවින් යුෂ්මතුන්ට මරණීය දණ්ඩනය නියම කරන අතර යුෂ්මතුන් වැලිකඩ බන්ධනාගාරයට ගෙන ගොස් ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයා විසින් නියම කරනු ලබන දිනයකදී හා වේලාවකදී යුෂ්මතුන් ප්‍රාණය නිරුද්ධ වනතෙක් එල්ලා තැබීමට මෙයින් නියෝග කරමි."
අනතුරුව මරණ දඬුවම නියම වූ වරදකරුවන් දොලොස් දෙනා බන්ධනාගාරය වෙත රැගෙන ගියේය.
