ජනපති ප්‍රමුඛ රජයේ වැඩපිළිවෙල බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායකතුමාගේ ඇගයුමට
February 10, 2026 07:12 pm
ශ්‍රී ලංකාවේ නව සමාජ සහ ආර්ථික පරිවර්තනයක් වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ රජය ගෙන යන වැඩපිළිවෙළ බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමා ඇගයීමට ලක් කර තිබේ.
බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුව තිබේ.
එහිදී අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව පවසා ඇත.
එමෙන්ම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග සුහද කතා බහක නිරත වූ අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමා මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව සහ වංචා දූෂණ වැළැක්වීමට රජය ක්‍රියාත්මක කර ඇති පුළුල් වැඩපිළිවෙළ ඇගයීමට ලක් කරමින් ඊට සිය ආශිර්වාද කර තිබේ.
ශ්‍රී ලංකාවේ වෙසෙන බෝරා ප්‍රජාව සහ අනෙකුත් ප්‍රජාවන් අතර පවතින දිගුකාලීන සබඳතා පිළිබඳව මෙන්ම බෝරා ප්‍රජාව මෙරට ආර්ථිකයට ලබා දෙන දායකත්වය පිළිබඳව මෙම හමුවේදී බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායකතුමා විසින් ජනාධිපතිවරයා දැනුවත් කෙරිණි.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමාගේ මෙරට සංචාරය පිළිබඳ සිය ගෞරව පූර්වක ස්තූතිය පිරිනමන බව සඳහන් කළේය.
මිලියනයකට අධික බෝරා ප්‍රජාවේ සාමාජිකයෝ ඉන්දියාව, පාකිස්තානය, අමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව, ශ්‍රී ලංකාව සහ ඕස්ටේලියාව ඇතුළු රටවල් ගණනාවක වාසය කරති.
බෝරා ප්‍රජාවේ නායකයන් ඇතුළු නියෝජිතයන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටී අතර ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායක රිස්වි සාලි, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරු එක්ව සිටියහ.
