ආවා කල්ලියේ සාමාජිකයින් දෙදෙනා දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
February 10, 2026 07:46 am
පුද්ගල ඝාතන සිදුකිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ආවා කල්ලියේ සාමාජිකයින් දෙදෙනා දින 90ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට පොලිස් මධ්‍යම අපරාධ කාර්යංශය අවසර ලබාගෙන තිබේ.
ඉන්දියාවට පළාගොස් සිටි මෙම සැකකරුවන් දෙදෙනා පසුගියදා මෙරටට පැමිණි අවස්ථාවේ, කටුනායක ගුවන් තොටුපළේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
යාපනයේ ප්‍රකට ආවා කල්ලියේ සාමාජිකයින් දෙදෙනෙකු වන මෙම සැකකරුවන් 2016 වසරේ මනිපායි ප්‍රදේශයේ සිදුකළ ඝාතනයකින් පසුව ඉන්දියාවට පළාගොස් සිටි බව වාර්තා වේ.
අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර රතු වරෙන්තු නිකුත් කර තිබු අතර ඔවුන් කටුනායක ගුවන්තොටුපළට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන සදහා මධ්‍යම අපරාධ කාර්යංශය වෙත බාරදී තිබේ.
මොවුන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පවත්වමින් කුලී වෙඩික්කරුවන් සැපයීමේ ජාවාරමක නිරත වී ඇති බවට පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇති බව ද සඳහන් වේ.
