UN දියත් කළ මෙරට 'දිට්වා මානුෂීය ප්‍රමුඛතා සැලැස්ම' ට ඩොලර් මිලියන 22ක්
February 8, 2026 04:58 pm
ශ්‍රී ලංකා මානුෂීය ප්‍රමුඛතා සැලැස්ම (HPP)" සඳහා මේ දක්වා අමෙරිකානු ඩොලර් මිලියන 22.4 ක් ආධාර ලැබී ඇති බව මෙරට එක්සත් ජාතීන්ගේ කාර්යාලය පවසයි.
ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම පරිදි පසුගිය දෙසැම්බර් මාසයේ සිට 2026 අප්‍රේල් දක්වා කාලය තුළ දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූවන්ට සහාය වීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 35.3 ක මුදලක් අපේක්ෂා කරන මානුෂීය ප්‍රමුඛතා සැලැස්ම දියත් කළේය.
ඒ අනුව, එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඕස්ට්‍රේලියාව, කැනඩාව, ජර්මනිය, ජපානය, නවසීලන්තය, අමෙරිකාව, එංගලන්තය මෙන්ම යුරෝපීය සංගමය ඇතුළු විවිධ ආයතන සහ රටවලින් අරමුදල් ලැබුණි.
කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ නවතම දත්ත අනුව, දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි මේ වන විට ආපදාවට ලක් වූ පුද්ගලයින් 216,000 කට අධික පිරිසකට ප්‍රතිචාර දක්වා ඇති බව සඳහන් වේ.
ශ්‍රී ලංකා මානුෂීය ප්‍රමුඛතා සැලැස්ම යටතේ අධ්‍යාපනය, ආහාර, පෝෂණය, ආරක්ෂාව, සෞඛ්‍ය, නවාතැන් සහ කෘෂිකර්මාන්තය යන ක්ෂේත්‍ර සඳහා ප්‍රමුඛතාවය ලබා දෙනු ලැබේ.
පසුගිය දශක දෙක තුළ ශ්‍රී ලංකාවේ ඇති වූ දරුණුතම ගංවතුර හා නායයෑම් හානිය දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ අතර එය රටේ දිස්ත්‍රික්ක 25 පුරාම මිලියන 2.2 ක් පමණ ජනතාවට බලපෑවේය.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට අනුව, 2025 දෙසැම්බර් 29 වන දින වන විට සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයින් 646 දෙනෙකු මියගොස් 173 දෙනෙකු අතුරුදහන් වී ඇත.
සුළි කුණාටුවෙන් ආපදාවට පත් වූ ප්‍රදේශ සඳහා අවශ්‍ය සහන කටයුතු රජය විසින් මෙහෙයවනු ලබන අතර, ඒ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය, මානුෂීය හවුල්කරුවන්, ජාත්‍යන්තර සහ ජාතික සිවිල් සමාජ සංවිධාන සහ පෞද්ගලික අංශයේ මෙන්ම ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික ආධාරවල සහාය හිමි වේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය බලපෑමට ලක් වූ ප්‍රදේශ යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම අමාත්‍යාංශ, දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය බලධාරීන් විසින් සිදුකරනු ලබයි.
