හොර විදේශ රැකියා ඒජන්සියක් පවත්වාගෙන ගිය කතක් අත්අඩංගුවට

හොර විදේශ රැකියා ඒජන්සියක් පවත්වාගෙන ගිය කතක් අත්අඩංගුවට

February 5, 2026   08:06 pm

වංචනික විදේශ රැකියා ඒජන්සි ආයතනයක් පවත්වාගෙන යමින් ඩුබායි රුමේනියා සහ මැද පෙරදිග රටවල්වල විදේශ රැකියා සඳහා පුද්ගලයන් බඳවාගත් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිලධාරීන් විසින් මෙම සැකකාරිය පසුගිය 03 වනදා අත්අඩංගුවට ගෙන ඇත.

කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයකට ලද තොරතුරක් මත මුල්ලේරියාව ප්‍රදේශයේ කුලී පදනම මත ලබාගත් නිවසක පවත්වාගෙන ගිය මෙම ව්‍යාජ විදේශ රැකියා ඒජන්සිය වැටලීම් කරන ලදී. 

එහිදී මෙම ආයතනය පවත්වාගෙන යනු ලැබූ උඩමුල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් අත්අඩංගුවට ගත් අතර, ඇය සතුව තිබී විදේශ ගමන් බලපත්‍ර 154, රැකියා ගිවිසුම්,  වෛද්‍ය වාර්තා හා ලබා ගැනීමේ ඉල්ලුම්පත්‍ර, විවිධ පුද්ගල ජීවදත්ත තොරතුරු ඇතුළත් ලිපිගොනු ද නිලධාරීන් භාරයට ගෙන ඇත.

මෙම කාන්තාව මීට පෙර 2016 වර්ශයේදී කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් ලබාගෙන රැකියා නියෝජිතායතනයක් පවත්වාගෙන ගොස් ඇති අතර ඊට එරෙහිව කාර්යාංශයට ලැබී ඇති පැමිණිලි අනුව නඩු එකොළහක් පවරා ඇති බැවින් බලපත්‍රය අත්හිටුවා ඇති බව වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එසේම මෙම කාන්තාවට විරුද්ධව මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය මගින් විවෘත වරෙන්තුවක්ද නිකුත් කර ඇත.

සැකකාර කාන්තාව ඊයේ (04) කොළඹ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 11 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.