ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ නීතිඥවරිය ගැන හෙළිවූ අලුත්ම කරුණු
February 5, 2026 04:28 pm
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින තමරා කුමාරි අබේරත්න නමැති නීතිඥවරිය සම්බන්ධයෙන් අනාවරණය කරගත් කරුණු කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (5) අධිකරණයට දැනුම් දී තිබේ.
ඇය සම්බන්ධයෙන් වන පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකර ඇත.
ඒ අනුව විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම්දී ඇත්තේ, ඇය අත්අඩංගුවට ගනු ලැබූ අවස්ථාවේදී පොලිස් භාරයට ගනු ලැබූ රුපියල් කෝටි දෙක හමාරක් පමණ වටිනාකමකින් යුත් හොන්ඩා වෙසල් වර්ගයේ මෝටර් රථය වෙනත් අයෙකුගේ නමින් තිබුණද, එය එම නීතිඥවරියට අයත් වාහනයක් බවය.
එම රථය විල්ප්‍රඩ් දිසානායක යන අයගේ නමින් තිබුණ ද, ඔහු විසින් ලබාදී ඇති ප්‍රකාශවලට අනුව අදාළ රථය මෙම නිතිඥවරිය ඇයගේ මුදල්වලින් මිලදී ගෙන ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇත.
සැකකාර නීතිඥවරියට එම වාහනය මිලදී ගැනීම සඳහා මුදල් යොදා ඇත්තේ කුමන ආකාරයෙන්ද යන කරුණ පිළිබඳ විමර්ශන සිදු කරන බව දැනුම්දී ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්, ඇයගේ බැංකු ගිණුම්වල සංසරණය වී ඇති මුදල් ගැන විමර්ශන සිදු කරන බවද මෙහිදී අධිකරණයට දැනුම් දී ඇත.
මෙම සැකකාර නීතිඥවරිය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ලබාගත් රැඳවුම් නියෝග මත රඳවාගෙන විමර්ශන සිදු කරන බවත් අදාළ නිලධාරීන් අධිකරණයට වැඩිදුරටත් කරුණු දක්වා තිබේ.
ගනේමුල්ල සංජීව ඝාතනය සිදුකළ බව කියන වෙඩික්කරුට මෙම නීතිඥවරිය විසින් ආධාර අනුබල දී ඇතැයි පැවසූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, වෙඩික්කරුට අවශ්‍ය ටයි පටි 2ක්, නීතිඥවරුන්ගේ වාහනවල භාවිතා කරන ලාංඡනය සටහන්වූ ස්ටිකරයක්, දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහය යන ග්රන්ථ 2ක්, නීතිඥ හැදුනුම්පතක් සකස් කිරීමට අවශ්‍ය ඡායාරූප ආදිය ලබාදී තිබෙන බවටක් කරුණු අනාවරණය වී ඇති බව වැඩිදුරටත් කරුණු දක්වා ඇත.
