18 හැවිරිදි සැකකරු 'පොඩි දිමුතු' ඝාතනයේ තොරතුරු වමාරයි
February 4, 2026 02:38 pm
අම්බලන්ගොඩ නිවසක ඉකුත් ජනවාරි 28 වනිදා පැවති සාදයක් අතරතුරදී 'පොඩි දිමුතු' නමැත්තා වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ 18 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගැනීමත් සමග සිද්ධියට අදාළ තවත් වැදගත් තොරතුරු රැසක් පොලිසිය අනාවරණය කරගෙන තිබේ.
ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් අදාළ තරුණයා අනාවරණ කර ඇත්තේ ඔහු 'පොඩි දිමුතු' සමඟ එකට මත්පැන් පානය කරමින් සිට ඝාතනය මෙහෙයවා ඇති බවය.
අම්බලන්ගොඩ, ගලගොඩ ප්‍රදේශයේ නිවසක පැවති සාදයක් අතරතුර දිමුතු සම්පත් හෙවත් පොඩි දිමුතු නැමැත්තෙකු වෙඩි තබා ඝාතනය කර තිබුණේ ඉකුත් ජනවාරි 28 වනදාය.
පොලිසිය පැවසූවේ වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් අදාළ වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබූ බවය.
විදෙස්ගතව සැඟව සිටින කරන්දෙණිය සුද්දා නම් අපරාධකරුගේ ප්‍රධානතම වෙඩික්කරු වන මේ වනවිට බන්ධනාගාරගතව සිටින 'ලලා' නමැත්තා විසින් මෙම ඝාතනය මෙහෙයවා ඇති බවද පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබුණි.
වැඩිදුර විමර්ශනවලදී අනාවරණ වී තිබුණේ ඊට ඝාතනයට ලක්වූ පොඩි දිමුතුගේ සමීප මිතුරෙකුද එක්ව ඇති අතර ඔහු එදින පොඩි දිමුතු සමග එම සාදයේදී මත්පැන්ද පානය කර ඇති බවය.
18 හැවිරිදි තරුණයෙකු වන ඔහු සාදය සඳහා මත්පැන් ද රැගෙනවිත් ඇති අතර වෙඩික්කරුවන්ට සියලු තොරතුරු ලබාදී වෙඩිතැබීම සිදුවන අවස්ථාවේ එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බවද පොලිසිය අනාවරණය කරගෙන ඇත.
අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, ඝාතනය මෙහෙයවීම සඳහා 'ලලා' නමැත්තා විසින් ඔහුට රුපියල් 50,000ක් ලබාදී ඇති අතර ඊට අමතරව අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100ක්ද ලබාදෙන බවට පොරොන්දු වී ඇති බවය.
ලලාගේ බිරිඳ සමග පැවති සමීප සබඳතාවක් ඝාතනයට හේතුව ලෙස මුලින් පොලිසිය සැක කළද, ඝාතනයට ලක්වූ 'පොඩි දිමුතු', 'සමන් කොල්ලා' නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවා ඇති බවටද මේ වනවිට හෙළිවී තිබේ.
ඒ අනුව ඊට පලිගැනීමක් ලෙස මෙම ඝාතනයට 'කරන්දෙණිය සුද්දා'ද සහයවී ඇති බවට පොලිසිය සැක පළකරයි.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපෙදස් මත ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ නාමල් පෙරේරා මහතාගේ අධීක්ෂණයෙන් ක්‍රියාත්මකය.
