මාස 9ක ඉඩෝරය නිමකළ විගණකාධිපති තනතුර
February 3, 2026 09:49 pm
පුරා මාස 9ක කාලයක් පැවති විගණකාධිපති ධුරයේ පුරප්පාඩුව අද (03) සම්පූර්ණ විය.
ඒ අද පැවැති ව්‍යවස්ථාදායක සභාව රැස්වීමෙන් අනතුරුවය.
ඒ අනුව ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායක සභාව වෙත පසුගිය සිකුරාදා දින යෝජනා කළ සමුදිකා ජයරත්න මහත්මියගේ නම ව්‍යවස්ථාදායක සභාව විසින් අද අනුමත කළේය.
මින් පෙර මාධ්‍ය වාර්තා පළවුණේ ජනාධිපතිවරයා විසින් අවස්ථා කිහිපයකදී ව්‍යවස්ථාදායක සභාව වෙත යොමු කළ නාමයෝජනා එම සභාව විසින් ප්‍රතික්ෂේප කළ බවය.
සමස්ත රාජ්‍ය ආයතනවල වගකීම තහවුරු කෙරෙන මෙන්ම රාජ්‍ය මූල්‍ය පාලනයේ විනිවිදභාවය ආරක්ෂා කිරීමට සහ ජාත්‍යන්තර විශ්වාසය තහවුරු කිරීම විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් සිදුවන අතර එහි ප්‍රධානියා වන විගණකාධිපති ධුරයේ පුරප්පාඩුව පසුගිය කාලය පුරාවට මෙරට ප්‍රධාන මාතෘකාවක් බවටද පත්විය.
මේ හේතුවෙන් විගණකාධිපති ධුරයේ මාස 9ක් පුරාවට පැවති මෙම පුරප්පාඩුව සම්බන්ධව මෙරට පක්ෂ විපක්ෂ රැසක මාතෘකාවක් බවටද පත්වුණු අතර මෙම පුරප්පාඩුව සම්බන්ධව දේශපාලන ක්ෂේත්රයේ දැඩි කතා බහක්ද නිර්මාණය විය.
ඒ අනුව නව විගණකාධිපතිවරයෙකු කඩිනමින් පත් කරන ලෙස ඉල්ලා මෙරට නීතීඥ සංගමය ඇතුළු පාර්ශ්ව රැසක්ද රජයෙන් ඉල්ලීමක්ද කළේය.
එමෙන්ම අවස්ථා කිහිපයකදී පාර්ලිමේන්තුවේදී ද මෙම විගණකාධිපති ධුරය සම්බන්ධව කතා කෙරෙනු දක්නට ලැබුණි.
මේ සම්බන්ධව ඇතිවූ තත්ත්වයන් තුළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය සිකුරාදා දිනයේදී 5 වෙනි වරටද නව විගණකාධිපති ධුරය සඳහා නමක් යෝජනා කරමින් සමුදිකා ජයරත්න මහත්මියගේ නම ව්‍යවස්ථාදායක සභාව වෙත යොමු කළේය.
පසුගිය සෙනසුරාදා දින ව්‍යවස්ථාදායක සභාව රැස්වීමට නියමිතව තිබුණද අදාළ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කාලය අවශ්‍ය බැවින් ව්‍යවස්ථාදායක සභාව අද රැස්විය.
එහිදී සමුදිකා ජයරත්න මහත්මියගේ නම ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමත කළේය.
පුරප්පාඩුව
විගණකාධිපති ධුරයේ කටයුතු කළ චුලන්ත වික්‍රමරත්න මහතා පසුගිය අප්‍රේල් මාසයේදී සිය ධුරයෙන් විශ්‍රාම ගනු ලැබීය.
චුලන්ත වික්‍රමරත්න මහතා විගණාධිපති ධුරයට පත්වූයේ පසුගිය 2019 වසරේ අප්‍රේල් 29 වැනි දිනය.
ඒ මෙරට 41 වැනි විගණකාධිපතිවරයා ලෙසය.
40 වැනි විගණකාධිපති ලෙස කටයුතු කළ ගාමිණි විජේසිංහ මහතාගේ විශ්‍රාම යෑමෙන් අනතුරුව චුලන්ත වික්‍රමරත්න මහතා 41 වැනි විගණකාධිපතිවරයා ලෙස පත්විය.
ඒ අනුව පුරා වසර 6ක සිය සේවා කාලය නිම කරමින් ඒ මහතා පසුගිය අප්‍රේල් මාසයේදී සිය ධුරයෙන් විශ්‍රාම ගත්තේය.
ඒ මහතාගේ විශ්‍රාම යාමෙන් පසුව පුරප්පාඩු වූ විගණකාධිපති ධුරය සඳහා විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨමයෙකු වූ ධර්මපාල ගම්මන්පිල මහතා පත් කිරීමට නියමිතව තිබුණද ඒ මහතා සම්බන්ධව පැවැති ගැටළුකාරී තත්ත්වය හේතුවෙන් එම පත් කිරීම සිදු නොවීය.
එමෙන්ම අවස්ථා 4කදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විගණකාධිපති ධුරය සඳහා නාම යෝජනා ඉදිරිපත් කළද එම නාමයෝජනා සියල්ලද ව්‍යවස්ථාදායක සභාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.
කවුද මේ සමුදිකා ජයරත්න
දශක දෙකකට අධික කාලයක් ශ්‍රී ලංකා ජාතික විගණන කාර්යාලයේ සේවය කර ඇති සමුදිකා ජයරත්න මහත්මිය ජ්‍යෙෂ්ඨ නිලධාරිනියකි.
ඇය මේ වන විට විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය විගණකාධිපතිවරිය ලෙසද කටයුතු කරන්නීය.
එමෙන්ම සමුදිකා ජයරත්න මහත්මිය ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය සහ රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරී සංගමයේ සාමාජිකාවක්ද වේ.
තවද ඇය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධිදාරිනියක්ද විය.
සබැඳි ලිපි
- නව විගණකාධිපතිනිය ලෙස එල්. එස්. අයි. ජයරත්න පත් කෙරේ
- විගණකාධිපති ධුරය ගැන අවසන් තීරණය අඟහරුවාදාට කල් යයි
- විගණකාධිපති ධුරයට තවත් නමක් ජනපති යෝජනා කරයි
- විගණකාධිපතිවරයා සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්
- ව්‍යවස්ථාදායක සභාව සීමාව ඉක්මවා ගිහින් - ඇමති නලින්ද
- කඩිනමින් ස්ථීර විගණකාධිපතිවරයෙකු පත්කරන්නැයි ඉල්ලීමක්
- වැඩබලන විගණකාධිපතිට සේවා දිගුවක්
- විගණකාධිපති තනතුරට පිටින් කෙනෙක් ගේන්න හදනවා - හර්ෂගෙන් ආණ්ඩුවට චෝදනාවක්
- නව විගණකාධිපති ගැන තීරණයක් අද
- ව්‍යවස්ථාදායක සභාව අද රැස්වෙයි
