සංවර්ධන නිලධාරීන්ගේ මාරාන්තික උපවාසයට අදට දින 7ක් - විමලුත් යයි
February 1, 2026 11:37 am
වසර 7ක සිට පාසල්වල ඉගැන්වීම් සිදුකරන තමන් කඩිනමින් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන්නැයි ඉල්ලා ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ආරම්භ කළ උපවාසය අද (01) ක්‍රියාත්මක වෙන්නේ 7 වැනි දිනයටය.
පළමුවෙන් උපවාසයේ නිරතව සිටි සිව්දෙනාම සෞඛ්‍ය තත්ත්වය අයහපත්වීම හේතුවෙන් රෝහල්ගත කෙරුණු අතර තවත් දෙදෙනෙකු ඊයේ (31) මාරාන්තික උපවාසට එක්වුණි.
මේ අතර, අද පෙරවරුවේ එම ස්ථානයේ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාද පැමිණියේය.
එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විමල් වීරවංශ මහතා පවසා සිටියේ, "මේ දිහා මානුෂීය බලන්න ඕනේ. මේ අයට සාධාරණයක් කරන්න ආණ්ඩුව කටයුතු කරන්න ඕනේ. වෙන ආණ්ඩුවකට මෙහෙම දරුණු ප්‍රතිචාර දක්වන්න අයිතියක් තිබුණත්, මේ ආණ්ඩුවට සදාචාරාත්මක අයිතියක් නෑ... හේතුව මේ අය මේ සටන්පාඨ ඉහළින්ම පිළිගත් අය එදා. ඒවා ඉටුකරනවා කියලා බලාපොරොත්තු ඇති පදමට දුන්න අය..." යනුවෙනි.
කෙසේ වෙතත් එළැඹෙන අඟහරුවාදා පස්වරු 6ට සංවර්ධන නිලධාරීන්ට ජනාධිපතිවරයා සාකච්ඡාවක් ලබාදීමට සූදානම් බවට සහතිකයක් ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් ඩී.ගමගේ මහතා ලබාදුන්නද උපවාසකරුවන් පවසන්නේ හෙට දිනට පෙර තමාට සාකච්ඡාව ලැබිය යුතු බවය.
එසේ නොදෙන්නේනම් දැවැන්ත විරෝධතාවකට යන බව ඔවුන් අවධාරණය කරයි.
