උනාකූරුවේ ශාන්තගේ ගෝලයෙකු ලක්ෂ 50ක අයිස් මත්ද්‍රව්‍ය සමග අල්ලයි
February 1, 2026 09:51 am
අලුත්ගම දුම්රිය ස්ථානය ආසන්නයේදී සැක කටයුතු ලෙස රැඳී සිටි පුද්ගලයෙකු පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 50කට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 500කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනීමට කළුතර අපරාධ කොට්ඨාසය සමත්ව තිබේ.
දකුණු පළාත් සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන උනාකූරුවේ ශාන්ත නැමැත්තා විසින් අලුත්මග හා වැලිපැන්න ආශ්‍රිතව මත්ද්‍රව්‍ය ජාවාරමක් සිදුකරන බවට ලද තොරතුරක් මත කළුතර අපරාධ කොට්ඨාසය විසින් මෙම වැටලීම සිදුකර තිබුණි.
එහිදී ඔහු සන්තකයේ තිබී මෙම ජාවාරම සඳහා භාවිත කළ බවට සැක කෙරෙන ජංගම දුරකථනයක්ද පොලිස් භාරයට ගෙන තිබේ.
සැකකරු මෙම අයිස් මත්ද්‍රව්‍ය වෙනත් පුද්ගලයෙකුට ලබා දීමට මෙම ස්ථානයේ සිටින්නට ඇති බවට සැක කෙරෙන අතර අත්අඩංගුවට ගත් මෙම සැකකරු අවුරුදු 22ක් වූ ගින්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවද පොලීසිය පැවසීය.
සිදුකරන ලද ප්‍රශ්න කිරීම් හමුවේදී අනාවරණය වී ඇත්තේ සැකකරු උනාකූරුවේ ශාන්ත නැමැත්තා සමග සමීප සබඳතා ගොඩනගා ගෙන ඇති බවය.
අත්අඩංගුවට ගත් සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඉදිරි විමර්ශන සඳහා රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිත බව පොලීසිය සඳහන් කළේය.
