බස් රියදුරන්ගෙන් සියයට 60ක්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා
January 30, 2026 03:45 pm
කොළඹ මෙන්ම තදාසන්න ප්‍රදේශයන්හි මගී ප්‍රවාහන සේවාවන්වල නිරත රියදුන්ගෙන් සියයට 60ක් පමණ බරපතළ ආකාරයෙන් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවී ඇති බව මහා මාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රවාහන, මහා මාර්ග හා නාගරික සංවර්ධන සම්බන්ධයෙන් වන විශේෂ සංවර්ධන කමිටු රැස්වීමට එක්වෙමිනි.
2025 වසරේදී රිය අනතුරු 2700ක් සිදුව ඇති බවත් ඉන් පුද්ගලයින් 2,700ක් මිය ගොස් ඇති බවත් ඔහු කීය.
ඉන් 2,000ක් පදිකයින්, යතුරුපැදිකරුවන් සහ පසුපැදිකරුවන් වන අතර මිය ගිය පිරිසෙන් සියයට 53ක් පිරිමි පුද්ගලයින් බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මේ අනතුරුවලින් සියයට පනහකට පමණ හේතුව රියදුරන් බවට අනාවරණවී තිබේ.
ඔවුන්ගෙන් බහුතරයක් මත්පැන් මෙන්ම විෂ මත්ද්‍රව්‍ය භාවිත කරන අය බවට හෙළිවී ඇති බව අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේය.
විෂ මත්ද්‍රව්‍ය භාවිත කරන තම රියදුරන් සම්බන්ධයෙන් බස් සංගම් වැඩි වශයෙන් හෙළි කර ඇති බවත් ඔවුන්ගෙන් සියයට හැටක් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවී ඇති බවත් ඔහු කියා සිටියේය.
"අපි ජංගම පරීක්ෂණාගාර භාවිතා කරලා බැස්ටියන් මාවතේ බස් 53ක් පමණ පරීක්ෂා කළා. එතැන රියැදුරෝ 10ක් මත්ද්‍රව්‍ය භාවිතා කරලයි හිටියේ. එමගින් අපිට හෙළිවුණා. රියදුරන්ගෙන් සියයට 16 ක් පමණ මත්ද්‍රව්‍ය භාවිතා කරනවා කියලා.
නමුත් සත්‍ය සංඛ්‍යාව ඊට වඩා ගොඩක් වැඩියි. ඒ බව අපි දැන ගත්තේ ඒ පරීක්ෂාවට පසු දින රියදුරන් විශාල සංඛ්‍යාවක් සේවයට නොපැමිණි නිසයි. අනිවාර්යෙන් ඒ අය මත්ද්‍රව්‍ය භාවිත කරනවා. ඒ නිසයි එදා පරීක්ෂා වෙයි කියලා සේවයට ආවේ නැත්තේ.
මේක තමයි තත්ත්වය. මේ අතරින් ප්‍රතිකාර ගන්න කැමැති අයට අපි ප්‍රතිකාර ලබා දෙනවා. හැබැයි චණ්ඩි දාලා වැඩ කරන්න නම් දෙන්නේ නැහැ. අපි අවශ්‍ය නීතිමය පියවර ගන්නවා. මින් ඉදිරියට බරවාහන බලපත්‍රයක් තිබුණත් මගේ ප්‍රවාහන කටයුතු කරන්න ඉඩ දෙන්නේ නෑ. ඒ සඳහා විධිමත් පුහුණුවක් ලබා දීලා විශේෂ බලපත්‍රයක් ලබා දෙනවා. එහෙම අයට විතරයි ආයේ මගී ප්‍රවාහන සේවාවන් කරන්න පුළුවන්."
