අත්අඩංගුවට ගත් සතොසේ හිටපු ජ්‍යෙෂ්ඨ කළමණාකරුවෙකු ඇතුළු තිදෙනෙකුට ඇප

අත්අඩංගුවට ගත් සතොසේ හිටපු ජ්‍යෙෂ්ඨ කළමණාකරුවෙකු ඇතුළු තිදෙනෙකුට ඇප

January 29, 2026   10:26 pm

 

2021 වසරේ සතොස ආයතනය විසින් සහන මිලට මහජනතාවට අලෙවි කිරීම සඳහා වෙන් කර තිබූ සුදුලූනු කිලෝග්‍රෑම් 54,860ක් ටෙන්ඩර් පටිපාටිය අනුගමනය නොකර අඩු මුදලකට පුද්ගලික ව්‍යාපාරික ආයතනයකට අලෙවි කිරීමෙන් රජයට රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයට අධික පාඩුවක් සිදුකළ බවට සැකපිට අත්අඩංගුවට ගත් සතොස ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ කළමණාකරුවෙකු ඇතුළු සැකකරුවන් තිදෙනා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවට අද (29) ඉදිරිපත් කර තිබුණි.

එහිදී අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේ 2021 වසරේ ශ්‍රී ලංකා රේගුව විසින් රාජසන්තක කරන ලද බහාලුම් දෙකක අඩංගු සුදුලූනු කිලෝග්‍රෑම් 54,860ක් සතොස ආයතනය හරහා සහන මිල ගණන් යටතේ මහජනතාවට අලෙවි කිරීම සඳහා එවක වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහ වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන තිබූ බවය.

එසේ තිබියදී එම සුදුලූනු තොගය මහජනතාවට අලෙවි නොකොට පුද්ගලික සමාගමකට අලෙවි කර ඇති බව අල්ලස් කොමිසම සඳහන් කර ඇත.

අදාළ කාලය තුළ සතොස ආයතනය විසින් සුදුලූනු කිලෝග්‍රෑමයක් රුපියල් 445කට අලෙවි කර තිබියදී, එම සුදුලූනු කිලෝග්‍රෑමයක් රුපියල් 135ක් වැනි අඩු මිලකට අලෙවි කිරීම හේතුවෙන් රජයට රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂ 6,660ක පාඩුවක් සිදුවී ඇති බවද කොමිසමේ නිලධාරිනිය අධිකරණයට දැනුම් දුනි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් සිදුකරගෙන යන බැවින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

කෙසේ වෙතත් සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සඳහන් කළේ සුදුලූනු තොගය අලෙවි කිරීමට තීරණය ගනු ලැබුවේ සැකකරුවන් විසින් නොව සතොස ආයතනයේ ආයතනික තීරණයකට අනුව බවය. 

එමෙන්ම අදාළ සුදුලූනු තොගය නරක්වීමට ආසන්න තත්ත්වයක පැවති බැවින් මෙලෙස අලෙවි කිරීමට කටයුතු කර ඇති බවද විත්තියේ නීතිඥවරු අධිකරණයට පෙන්වා දුනි.

දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා, සැකකරුවන් එක් අයෙකුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළ අතර, ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කිරීමටද නියම කළේය.

ඉන් අනතුරුව මෙම නඩුව ජුනි මස 09 වැනිදා නැවත කැඳවීමට නියම විය.