තරුණියන් නොමග යවා රන් මාලය අරන් පැන්න සොරා කොටුවෙයි
January 25, 2026 05:15 pm
හැටන් නගරයේ ප්‍රධාන වීදියේ පිහිටි ස්වර්ණාභරණ වෙළෙඳසැලකින් රුපියල් 289,000ක් වටිනා රන් මාලයක් සොරාගෙන පලාගිය සැකකරු ඊයේ (24) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.
හැටන් පොලිස් අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු, හැටන් මහෙස්ත්‍රාත් එස්. රාමමූර්ති මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ බගවන්තලාව, කිව් වත්තේ පදිංචි 42 හැවිරිදි තිදරු පියෙක්ය.
ආභරණ මිලදී ගැනීමට පැමිණි අයෙකු මෙන් වෙළෙඳසැලට ඇතුළු වූ අදාළ සැකකරු, එහි සේවිකාවන් පෙන්වූ ආභරණ කිහිපයක් පරීක්ෂා කර ඇත.
පසුව මාලයක් දෙස බලන මුවාවෙන් එක්වරම එය රැගෙන වෙළෙඳසැලෙන් පලා ගොස් තිබේ.
මෙම සොරකම වෙළෙඳසැලේ සවිකර තිබූ CCTV කැමරාවක ද සටහන්ව තිබිණි.
ඒ අනුව හැටන් මූලස්ථාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ආර්.ඒ.ඩී. සුගතදාස මහතාට ලැබුණු තොරතුරක් මත, බගවන්තලාව ප්‍රදේශයේ බිරිඳගේ නිවසේ සැඟව සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
විමර්ශන වලදී හෙළි වී ඇත්තේ සොරාගත් මාලය රැගෙන හැටන් සිට වටවල දක්වා දුම්රිය මාර්ගයේ පා ගමනින් ගොස්, නාවලපිටිය ප්‍රදේශයේ පෞද්ගලික මූල්‍ය ආයතනයකට එය රුපියල් 169,000ක මුදලකට උකස් කර ඇති බවය.
එම මුදලෙන් කොටසක් කොළඹ අධ්‍යාපනය ලබන තම දරුවා වෙත යවා ඇති අතර, ඉතිරි මුදලින් කොටසක් ණය පියවීම සඳහා යොදාගෙන තිබේ.
ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව ඉතිරිව තිබී ඇත්තේ රුපියල් 10,000ක මුදලක් පමණක් බව පොලිසිය පවසයි.
තරුණියන් නොමග යවා සොරකම සිදුකළ අයුරු ඉහතින්
