කොළඹ වරාය නගරයේ බලයලත් තැනැත්තන් පත් කිරීමේ ප්‍රමාදය ගැන CoPF අවධානය
January 23, 2026 06:00 pm
කොළඹ වරාය නගරයේ බලයලත් තැනැත්තන් (Authorized person) පත් කිරීමේ බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදය සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අවධානය යොමුව තිබේ.
කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතට අනුව සමාගමක් ව්‍යාපාරයක නිරත වීමට අදහස් කරන අවස්ථාවකදී, ඒ යම් ඉල්ලුම්කරුවෙකුට කොළඹ වරාය නගරයේ බල ප්‍රදේශය තුළ ව්‍යාපාරයේ නිරත වීම සඳහා බලයලත් තැනැත්තෙකු ලෙස සුදුසුකම් ලැබීම සහ අවසර ලැබීම සඳහා බලපත්‍රයක් ලබා ගැනීම සිදු කළ යුතුය.
මෙහිදී කාරක සභාව පෙන්වා දුන්නේ මේ වන විට එම ලියාපදිංචිය ලබාගැනීම සඳහා ඉල්ලුම් කළ අයදුම්පත් 72ක් පවතින බවය.
මේ අනුව කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහනට අදාළ සිව්වන සමාලෝචනය සඳහා අත්සන් කරන ලද අභිප්‍රාය ප්‍රකාශ ලිපිය හේතුවෙන් 2025.07.04 දින සිට මෙම ක්‍රියාවලිය අත්හිටුවන බවට දැනුවත් වූ බවය.
එබැවින් මෙම අයදුම්පත් සලකා බැලීම සිදු නොකළ බව ඔවුහු පෙන්වා දුන්හ.
එහිදී කාරක සභාව පෙන්වා දුන්නේ 2025 ජුලි මස වන විටත් අයදුම්පත් 54ක් ලැබී තිබුණ ද ඒ සම්බන්ධයෙන්ද සලකා බැලීම ආරම්භ කොට නැති බවය.
ඊට පිළිතුරු දෙමින් නිලධාරීන් වැඩිදුරටත් පැවසුවේ පනතේ සංශෝධන සිදුවීමට නියමිත බැවින් මීට අදාළ ක්‍රියාවලිය ඉදිරියට සිදු කරන ආකාරය වෙනස් විය හැකිද යන්න සැකයක් පැවති බවත් මේ නිසා ඉදිරි කටයුතු සිදු නොකළ බවත්ය.
එසේම සංශෝධිත පනත ජනවාරි 20වනදා බලාත්මක වූ බැවින් මේ සම්බන්ධ ඉදිරි කටයුතු ඉක්මනින් සිදු කරන බව නිලධාරීහු පෙන්වා දුන්හ.
මෙහිදී කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දුන්නේ රටට නව ආයෝජන පැමිණීම රටේ සියලු දෙනාගේ අරමුණ බවත් මේ නිසා ඉක්මනින් මේ සම්බන්ධව ක්‍රියාත්මක වීම වැදගත් බවත් ය.
තවද සරල කරන ලද එකතු කළ අගය මත බදු (SVAT System) ක්‍රමවේදයේ වර්තමාන ප්‍රගතිය පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය.
මින් පෙර 2025 ඔක්තෝබර් මස නිලධාරීන් කාරක සභාවට පැමිණි අවස්ථාවේදී පෙන්වා දුන්නේ VAT ක්‍රමවේදය යටතේ නැවත ගැනීමේ හැකියාව සහිත ගෙවීම (Refund payments delays) නැවත ගැනීමේදී 100%ක විගණනයක් කරන බවත් මේ නිසා ප්‍රමාදයක් පවතින බවත්ය.
නමුත් මෙම SVAT ක්‍රමවේදය මගින් එම ප්‍රමාදය අවම කරමින් දින 45ක් ඇතුළත කඩිනමින් එම නැවත ගෙවීම් සිදු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කළ හැකි බවද සඳහන්.
මෙහිදී පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ ජනවාරි 15 වන විට ආපසු ගෙවීම් 96%ක් පමණ සිදු කර ඇති බවත් පැරණි ගෙවීම් බහුතරයක් ද සිදු කර ඇති බවත්ය.
කාරක සභාව හමුවේ ඉදිරිපත් කළ තොරතුරු අනුව SVAT ක්‍රමවේදය මගින් පැහැදිලි ප්‍රගතියක් අත්කරගෙන කිබෙන බව නිරීක්ෂණය කළ කාරක සභාව ඒ සම්බන්ධයෙන් තම ප්‍රසාදය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පල කළේය.
මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් සහ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රවී කරුණානායක, අජිත් අගලකඩ, එම්. කේ. එම්. අස්ලම්, නිමල් පලිහේන, නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු, විජේසිරි බස්නායක, සුනිල් රාජපක්ෂ, තිළිණ සමරකෝන් සහ චම්පික හෙට්ටි ආරච්චි යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
