රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය හෙට සංකේතාත්මක වැඩ වර්ජනයක

රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය හෙට සංකේතාත්මක වැඩ වර්ජනයක

January 20, 2026   05:08 pm

රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය විසින් හෙට (21) දිනයේදී ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති සංකේත වැඩ වර්ජනය එලෙසම ක්‍රියාත්මක කරන බව එම සංගමය පවසයි.

එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා පැවසුවේ මාලිගාවත්ත විශේෂිත වකුගඩු රෝහලෙහි නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා ලෙස රාජකාරි ආවරණය කරනු ලබන පුද්ගලයාගේ විනය විරොධී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් මෙම සංකේතාත්මක වර්ජනය ක්‍රියාත්මක කරන බවය.

මෙම ගැටලුව සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා සමග අද (20) දහවල් සාකච්ඡාවක් පැවැත්වූ නමුත් ඔහුගේ විමර්ශන කටයුතු සිදුකරන කාලය තුළ එම තනතුරුවලින් තාවකාලිකව ඉවත් කිරීමේ බලයක් ඔවුන් සතුව නොමැති බවත් ඒ සම්බන්ධව සෞඛ්‍ය ලේකම්වරයා සමග සාකච්ඡා කළ යුතු බව දැන්වූ බවද ඒ මහතා මෙහිදී පැවසීය.

කෙසේ නමුත් එම නිලධාරියාගේ විනය විරෝධි ක්‍රියාකාරකම් හමුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කර තිබියදී අමාත්‍යාංශයේ හැසිරීම ප්‍රශ්න සහගත බව පෙන්වා දෙන එම සංගමය පැවසුවේ මේ සඳහා විසඳුම් ලබා නොදීම හේතුවෙන් මෙම වැඩ වර්ජන ක්‍රියාවලිය එලෙසම පවත්වාගෙන යාම සඳහා අද දින තීරණය කළ බවත්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා,

"සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා අවසන් එකඟතාවක් ලබා දුන්නේ නැහැ එම පුද්ගලයා රෝහලින් ඉවත් කිරීම සඳහා. ඒ සඳහා සෞඛ්‍ය ලේකම්වරයා සමග සාකච්ඡා කළ යුතුයි කියන කාරණාව තමයි ඔහු ප්‍රකාශ කළේ. අපි මේ වෙනකොට සංගමය විදිහට වර්ජන ක්‍රියාමාර්ගය අත්හිටුවන්නේ නැහැ. මොකද අපිට මේ ගැටලුව විසඳාගන්න සෞඛ්‍ය අමාත්‍යාංශය මැදිහත්වීම නොකරන හින්දා. ඒ නිසා අපි වර්ජන ක්‍රියාමාර්ගය තවදුරටත් කරනවාය කියන තීරණයේ තමයි ඉන්නේ. ඒ අනුව හෙට උදෑසන 8.00 සිට අනිද්දා උදෑසන 8.00 දක්වා කාලයකට විකිරණ පරීක්ෂණ සේවා, CT පරීක්ෂණ,  MRI පරීක්ෂණ, angiogram පරීක්ෂණ, Mammogram පරීක්ෂණ, විකිරණ භාවිතාවෙන් සිදුවන සියලුම සැත්කම් අඩපණ වීමට නියමිතව තිබෙනවා. වර්ජනය පැවැත්වෙන කාල සීමාව තුළ පිළිකා රෝහල්, මාතෘ හා ළමා රෝහල් අපි වර්ජනයට සම්බන්ධ කරගන්නේ නැහැ. මෙම ගැටලුව විසඳීමට සෞඛ්‍ය ඇමතිවරයා, සෞඛ්‍ය ලේකම්වරයා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ලේකම්වරයා මැදිහත් වෙන්නේ නැතිනම් අපිට මේ වර්ජන ක්‍රියාමාර්ගය තවදුරටත් තීව්‍ර කිරීමට සිදුවෙනවා. ඒ සම්බන්ධව අපි අද රාත්‍රියේ පැවැත්වෙන විධායක කමිටුවේදී සාකච්ඡා කරනවා. ඊට කලින් අපි හදිසි විධායක කමිටුවක් රැස් කරලා තියෙනවා මෙම ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න."