සිසුවියව දූෂණය කළ පාසල් පෙම්වතා සහ මිතුරා පොලිස් දැලේ

සිසුවියව දූෂණය කළ පාසල් පෙම්වතා සහ මිතුරා පොලිස් දැලේ

January 20, 2026   12:26 pm

ගිනිගත්හේන ප්‍රදේශයේ ප්‍රධාන පාසලක 11වන වසරේ අධ්‍යාපනය ලබන පාසල් සිසුවියක් අවස්ථා කිහිපයකදී දූෂණය කළ තරුණයන් දෙදෙනෙකු සහ දුෂණය කිරීමට අනුබල දුන් සැකකරුවෙකු ඇතුළු තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් පසුගිය 18 වනදා අත්අඩංගුවට පත් වූ බව ගිනිගත්හේන පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විරාජ් විතානගේ මහතා පැවසීය.

පාසල් සිසුවිය ගිනිගත්හේන, ගෝනවල ප්‍රදේශයේ තරුණයෙකු සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවත්, පෙම්වතා හමුවීමට යන අවස්ථාවේ ඔහු විසින් පාසල් සිසුවියව මිතුරෙකුගේ නිවසකට කැඳවාගෙන ගොස් ඇති බවත් අනාවරණය වී තිබේ.

එහිදී පෙම්වතා සහ ඔහුගේ මිතුරෙකු ඇයව දූෂණය කළ බවට ගිනිගත්හේන පොලීසිය වෙත පාපොච්චාරණය කර ඇත.

මිත්තණිය භාරයේ සිටින පාසල් සිසුවිය පසුගිය 17 වනදා උදෑසන නිවසින් පිටව ගොස් රාත්‍රියේ නිවසට පැමිණ ඇති අතර, එහිදී ඇති වූ සැකය මත මිත්තණිය ගිනිගත්හේන පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබේ.

ඒ අනුව සිදුකළ විමර්ශනයේ දී පාසල් සිසුවිය පොලීසියට කැඳවා ප්‍රකාශයක් ලබාගෙන ඇති අතර, එහිදී ඇය සියල්ල පාපොච්චාරණය කර ඇත. 

පාපොච්චාරණය අනුව ඇය අවස්ථා කිහිපයකදී දූෂණයට ලක්ව ඇති අතර, සිසුවිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති බවද පොලිස් ස්ථානාධිපතිවරයා පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 16 සහ 17 වන වියේ පසුවන අතර, ඔවුන් ඊයේ (19) හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙබරවාරි මස 2 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.