නිර්දෝෂි බව ඔප්පු කරන්න සැමියා බිරිඳට දුන් බිහිසුණු දඬුවම
January 18, 2026 11:00 am
'තමා නිර්දෝෂී බව ඔප්පු කර පෙන්වන්නැයි' පවසමින් බිරිඳගේ සිරුරට භූමිතෙල් වත්කර, ඇයට ශරීරයට ගිනි තබා ගැනීමට පෙළඹූ ස්වාමිපුරුෂයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මඩකලපුව, මුණෛක්කාඩු ප්රදේශයේදී ඊයේ (17) පෙරවරුවේ මෙම සිද්ධිය සිදුව ඇති බව කොක්කඩචෝලෙයි පොලීසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මුණෛක්කාඩු ප්රදේශයේ පදිංචි 36 හැවිරිදි අනුෂ්වරන් නැමති කුලී සේවකයෙකි.
ඔහු එම ප්රදේශයේම පදිංචි 31 හැවිරිදි කාන්තාවක් සමඟ විවාහ වී සිටී.
ඊයේ උදෑසන 8.30ට පමණ මොවුන් මුදල් සම්බන්ධයෙන් ආරවුලක් ඇති කරගෙන බහින්බස් වී ඇති බව වාර්තා වේ.
පසුව සැමියා විසින් බිරිඳගේ හැසිරීම පිළිබඳව සැක සිතී "ඔබ නිර්දෝෂී බව ඔප්පු කර පෙන්වන්න" යැයි පවසා ඇයට බලකර තිබේ.
අනතුරුව ඇගේ සිරුරුට භූමිතෙල් වත්කර, ගිනිපෙට්ටියක් ලබාදී ඇයට ගිනිතබා ගන්නැයි පොළඹවා ඇත.
ගිනි තබා ගෙන ඇති බිරිඳ පසුව බරපතළ තුවාල ලබා මේ වනවිට මඩකලපුව ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටී.
පසුව සැමියා තියුණු ආයුධයකින් තමාටම හානි කරගෙන ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත් බිරිඳව ඝාතනය කිරීමට තැත්කිරීම සහ තමාටම තුවාල සිදුකර ගැනීම යන චෝදනා යටතේ කොක්කඩචෝලෙයි පොලීසිය විසින් අදාළ සැකකරුව අත්අඩංගුවට ගෙන අද (18) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
