ආපදාවෙන් පීඩාවට පත් ධීවර ක්ෂේත්‍ර ගොඩනැගීමට වියට්නාම තානාපතිනියගෙන් සහතිකයක්

ආපදාවෙන් පීඩාවට පත් ධීවර ක්ෂේත්‍ර ගොඩනැගීමට වියට්නාම තානාපතිනියගෙන් සහතිකයක්

January 17, 2026   04:50 pm

පසුගියදා සිදුවූ දිට්වා ආපදාවෙන් පීඩාවට පත් ශ්‍රී ලංකාවේ ධීවර හා ජලජීවි වගා ක්ෂේත්‍රය යළි නගා සිටුවීම සඳහා තාක්ෂණික සහයෝගීතාව ලබා ගැනීම පිළිබඳ සාකච්චාවක් ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතා සහ ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනි ට්‍රින් ති ටම් මහත්මිය අතර ඊයේ (16) දින අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.

එහිදී තානාපතිවරිය විසින් දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීම සඳහා දෙරට එක්ව කටයුතු කිරීමේ වැදගත්කමද අවධාරණය කළ අතර ඇතිවූ ආපදාවෙන් සිදුවූ හානිය සම්බන්ධව වියට්නාම රජයේ කණගාටුවද පළ කළාය.

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ජිනදාස මහතා පැවසුවේ ආපදාවෙන් හානියට පත් විසිතුරු මත්ස්‍ය කර්මාන්තය යළි ගොනැගීම සඳහා අවශ්‍ය ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් මව් සතුන් ලබා ගැනීමට සහාය වන ලෙස තානාපතිවරියගෙන් ඉල්ලා සිටියේය.

ඊට යහපත් ප්‍රතිචාරයක් දැක්වූ තානාපතිවරිය ලෝක වෙළෙඳපොළේ විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ විශාල පංගුවකට හිමිකම් කියන වියට්නාමය සතු දියුණු තාක්ෂණික දැනුම සහ සහාය ලබා දීමට එකඟතාව පළ කළාය. 

තවද, ඉස්සන් කර්මාන්තයේ ප්‍රගතිය සඳහා SPF මොනෝඩොන් ඉස්සන් අභිජනන තාක්ෂණය බෙදා හදා ගැනීමටත්, ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික විශේෂඥ සහාය ලබා දීමටත් වියට්නාමය කැමැත්ත පළ කළේය. 

මෙම තාක්ෂණික හුවමාරුවන් විධිමත් කිරීම සඳහා දෙරට අතර පවතින ධීවර සහයෝගිතා අවබෝධතා ගිවිසුම යාවත්කාලීන කිරීමට ද මෙහිදී තීරණය කෙරිණි.

රාජ්‍ය මට්ටමේ වැඩසටහන් හරහා වියට්නාම ආයෝජකයින් ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රයට සම්බන්ධ කර ගැනීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. විශේෂයෙන්ම, නෝත් සී  ආයතනයට අවශ්‍ය ටොරේ නූල් සහ දැල් අතරමැදියන්ගෙන් තොරව සෘජුවම ලබා ගැනීම හරහා නිෂ්පාදන පිරිවැය අඩු කර ගැනීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.

වියට්නාමයේ කෘෂිකර්ම සහ පරිසර අමාත්‍යාංශය සමඟ සම්බන්ධීකරණය කරමින් මෙම යෝජනා කඩිනමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද තානාපතිවරිය මෙහිදී වැඩිදුරටත් සහතික වූවාය.