16 හැවිරිදි තරුණියකට වෙඩි වැදුණු සිද්ධියේ තවත් සැකකරුවන් 3ක් අත්අඩංගුවට
January 16, 2026 06:58 am
කොහුවල බෝධියත්ත ප්රදේශයේ නිවසක් ඉදිරිපිටදී ඉකුත් 30 වනදා රාත්රියේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු සිදුකළ වෙඩිතැබීමකින් 16 හැවිරිදි තරුණියකට තුවාල සිදුකිරීමේ අපරාධයට ආධාර අනුබල දීමේ චෝදනාව යටතේ තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොහුවල පොලිසිය හා මොරටුව පොලිස් විශේෂ කාර්ය බළකාය විමර්ශන ආරම්භ කර තිබුණි.
ඒ අනුව මොරටුව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (15) දෙමටගොඩ හා වැල්ලම්පිටිය පොලිස් වසම්වලදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන කොහුවල පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.
සැකකරුවන් අවුරුදු 27, 32 හා 35 යන වයස්වල පසුවන කොළඹ 09 හා කොළඹ 12 ප්රදේශවල පදිංචිකරුවන් ය.
මේ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී එම අපරාධය සිදුකිරීම සඳහා පැමිණි යතුරුපැදිය අපරාධකරුවන් වෙත ලබාදී ආධාර අනුබල දුන් 32 හැවිරිදි සැකකරවෙකු පසුගිය 6 වනදා බඩෝවිට ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණි.
තවද ජනවාරි 3 වනදා දෙහිවල පොලිස් වසමේ කළුබෝවිල ප්රදේශයේදී සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.
මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ මෙම අපරාධයට අදාළ යතුරුපැදියේ පැදිකරු, ගිනිඅවිය භාරව කටයුතු කළ සැකකරු, ගිනි අවි ප්රවාහනය කළ සැකකරු හා අපරාධකරුවන්ට නවාතැන් පහසුකම් ලබාදුන් සැකකරු ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකි.
ඔවුන් 25, 28, 33 හා 45 වයස්වල පසුවන පුද්ගලයින් ය.
