මෙරටින් නික්මයාමට නියමිත අමෙරිකානු තානාපති ජූලි චන්ග් අගමැතිනිය හමුවෙයි
January 14, 2026 10:07 pm
සිය ධූර කාලය අවසන් කරන ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති ජූලි චන්ග් මහත්මිය අද ( 14) දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.
තානාපතිවරිය පිළිගත් අග්‍රාමාත්‍යවරිය, තම ධූර කාලය තුළ ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කිරීම සඳහා ජූලි චන්ග් මහත්මිය විසින් ලබා දුන් සේවය සහ දායකත්වයට සිය කෘතඥතාව පළ කළාය.
දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇති වූ හදිසි තත්ත්වයෙන් රට යථා තත්ත්වයට පත් කරගැනීමට ඇමරිකා එක්සත් ජනපද රජය විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් සහාය ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී පැසසුමට ලක් කළාය.
සිය ධූර කාලයේ දී ශ්‍රී ලංකා රජය විසින් තමාට ලබා දුන් අන්‍යෝන්‍ය සහයෝගය පැසසුමට ලක් කළ ජූලි චන්ග් මහත්මිය, ශ්‍රී ලංකා නව රජයට සිය කෘතඥතාව පළ කළ අතර, දෙරට අතර දිගු කාලීන හවුල්කාරිත්වය තහවුරු කළාය.
Fulbright ශිෂ්‍යත්ව වැඩසටහන සහ එක්සත් ජනපද සාම බලකා (Peace Corps) වැඩසටහන යටතේ දෙරටේ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව මෙම හමුවේදී අවධානය යොමු වූ අතර, දෙරටේ ජනතාව අතර මිත්‍රත්වය සහ දිගුකාලීන සහයෝගීතාව වර්ධනය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළහ.
මෙම අවස්ථාවට නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී Jayne Howell මහත්මිය, මහජන හා සංස්කෘතික කටයුතු පිළිබඳ උපදේශක Menaka Nayyar මහත්මිය, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත මහත්මිය, විදේශ කටයුතු අමාත්‍යාංශයේ යුරෝපීය සහ උතුරු ඇමරිකානු අංශයේ අධ්යක්ෂ ජනරාල් සුගීෂ්වර ගුණරත්න මහතා සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ යුරෝපීය සහ උතුරු ඇමරිකානු අංශයේ අධ්යක්ෂ ප්‍රමුදිතා මනුසිංහ මහත්මිය සහභාගී වූහ.
