සරණට එරෙහි අල්ලස් නඩුව කැඳවීමට දින දෙයි

සරණට එරෙහි අල්ලස් නඩුව කැඳවීමට දින දෙයි

January 13, 2026   01:55 pm

ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ සමයේ එම ආයතනයට කුලී පදනම මත වාහන මිලදී ගැනීමේ දී රජයට පාඩු කළේ යැයි චෝදනා කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවක් ජනවාරි 26 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

මෙම නඩුව අද (13) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් හමුවේ කැඳවනු ලැබීය.

එහිදී විත්ති පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරය හා සමාන තවත් නඩුවක් මේ මස 26 වනදා කැඳවීමට නියමිතව තිබෙන බව සඳහන් කළේය.

ඒ අනුව මෙම නඩුකරයද එදිනට කැඳවන ලෙසත් නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා මෙම නඩුව යළි ජනවාරි 26 කැඳවන ලෙස නියෝග කළේය.