හිටපු ඇමති ලක්ෂ්මන් යාපාගේ  නඩුව කල්යයි

හිටපු ඇමති ලක්ෂ්මන් යාපාගේ නඩුව කල්යයි

January 13, 2026   12:22 pm

හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන හා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ජයන්ත එදිරිසිංහට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා පෙබරවාරි 10වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

මෙම නඩුව අද (13) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විත්ති පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම නඩුවට අදාළව ඉදිරිපත් කරන ලද තවත් නඩුකරයක් අභියාචනාධිකරණය හමුවේ විභාග වෙමින් පවතින බවය.

එහෙත් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ අභියාචනාධිකරණය විසින් තම අධිකරණයේ පවතින නඩුව විභාග කිරීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කර නොමැති නිසා එය විභාගයට ගැනීමට තමන්ට හැකියාව තිබෙන බවය.

ඒ අනුව මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා පෙබරවාරි මස 10වනදා යළි කැඳවන ලෙස විනිසුරුවරයා නියම කළේය.

මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පදවි ප්‍රාප්තිය වෙනුවෙන් 2014 වසරේ නොවැම්බර් මස 19 වනදා පුවත්පත් 11ක ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අරමුදල් යොදා පුවත්පත් අතිරේක පළ කිරීම තුළින් රජයට 1748877.76ක පාඩුවක් සිදු කිරීම තුළින් දූෂණය නමැති වරද සිදු කර ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.