2025 දී රටවිරුවන් ඩොලර් බිලියන 8කට වඩා ලංකාවට එවලා

2025 දී රටවිරුවන් ඩොලර් බිලියන 8කට වඩා ලංකාවට එවලා

January 10, 2026   05:39 pm

විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් වාර්ෂික වටිනාකම, ඉතිහාසයේ පළමු වරට 2025 වසරේ දී එක්සත් ජනපද ඩොලර් බිලියන 8 සීමාව ඉක්මවීමට සමත්ව තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවකට අනුව 2025 වසරේ දී විදෙස් සේවා නියුක්තිකයන්ගෙන් ලද ප්‍රේෂණ මුළු වටිනාකම ඩොලර් බිලියන 8.07 ක් ලෙසින් සටහන්ව ඇත.

මෙය 2024 වර්ෂය තුළ ද සමස්ත ප්‍රේෂණ ප්‍රමාණය වූ ඩොලර් බිලියන 6.57 හා සැසඳීමේ දී 22.8%ක ඉහළ යාමකි.

මීට පෙර වසරක් තුළ ලැබුණු වැඩිම ප්‍රේෂණ ප්‍රමාණය 2016 වසරේ දී වාර්තා වූ අතර එය ඩොලර් බිලියන 7.24ක් වේ.

මේ අතර මෙතෙක් ඉතිහාසයේ තනි මාසයක් තුළ ලැබුණු වැඩිම ප්‍රේෂණ ප්‍රමාණය 2025 දෙසැම්බර් මාසයේ දී වාර්තා වී තිබෙන අතර එම ප්‍රමාණය ඩොලර් මිලියන 879.1 කි.

මීට පෙර 2020 දෙසැම්බර් මාසයේ දී ලැබී තිබුණු ඩොලර් මිලියන 812.7ක ප්‍රේෂණ ප්‍රමාණය මෙතෙක් ඉතිහාසයේ තනි මාසයක් තුළ වාර්තා වී තිබුණු ඉහළම මාසික ප්‍රේෂණ ලැබීම් ප්‍රමාණය වේ.