ගැඹුරු පීඩන අවපාතය ශ්‍රී ලංකාවට තවත් ළංවෙයි

ගැඹුරු පීඩන අවපාතය ශ්‍රී ලංකාවට තවත් ළංවෙයි

January 9, 2026   06:26 am

Update - January 9, 2026   08:50 am

ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (9) පෙ.ව. 6 වනවිට මඩකලපුවේ සිට කිලෝමීටර් 170ක් පමණ නැගෙනහිර දෙසින් පිහිටා තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව එය වයඹ දෙසට ගමන් කර සවස් කාලයේදී පොතුවිල් සහ ත්‍රිකුණාමලය අතර ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇත.

එහි බලපෑම හේතුවෙන් උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි සහ සුළං තත්ත්වයේ වර්ධනයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත්කළ නවතම කාලගුණ අනාවැකිය

TCA_26010903_SN (1) by poornima

-----------------------------------------

ගැඹුරු පීඩන අවපාතය අද සවස් කාලයේදී ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කරයි

January 9, 2026   06:26 am

ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (09) අලුයම 4 පමණ වනවිට මඩකලපුව සිට කිලෝමීටර් 200ක් පමණ ගිනිකොණ දෙසින් පිහිටා තිබුණු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එය තවදුරටත් වර්ධනය වෙමින් වයඹ දෙසට ගමන් කර අද සවස් කාලයේදී පොතුවිල් සහ ත්‍රිකුණාමලය අතර ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

උතුරු, උතුරු-මැද පළාත්වලත් මාතලේ, ත්‍රිකුණාමලය සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි අතර මහනුවර, නුවරඑළිය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. (50-75) ක පමණ තරමක තද වැසි ඇති විය හැකිය.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, වයඹ, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත්, ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (50-60) දක්වා වන ඉතා තද සුළං සමඟ විටින් විට හමන පැ.කි.මී. (70) දක්වා වන ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

2026 ජනවාරි මස 09 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකිය පහතින්,