ලෝක සාමය වෙනුවෙන් අමෙරිකාවේ  නගර පුරා පා ගමනින් යන හිමිවරු

ලෝක සාමය වෙනුවෙන් අමෙරිකාවේ නගර පුරා පා ගමනින් යන හිමිවරු

January 1, 2026   10:14 pm

බෞද්ධ දර්ශනයේ දීර්ඝ කාලීන සම්ප්‍රදායක් වන 'සාමය සහ සහජීවනය' ප්‍රවර්ධනය කිරීම උදෙසා බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසක් අමෙරිකාවේ ප්‍රාන්ත රැසක් හරහා පා ගමනෙන් යන පුවතක් එරටින් වාර්තා වේ.

භික්ෂුන් වහන්සේලා 12කින් යුත් කණ්ඩායම් 2ක් ඉකුත් ඔක්තෝබර් 26 වනදා ටෙක්සාස් සිට මෙම පා ගමන ආරම්භ කර ඇති අතර, ඔවුන් මේ වනවිට ජෝර්ජියාවට පැමිණ ඇත්තේ සිය උදාර අරමුණේ 66වන දිනයද සම්පූර්ණ කරමින්ය.

මෙම භික්ෂූන් වහන්සේලාගේ මීළඟ ගමනාන්තය වී ඇත්තේ වොෂින්ටන් නගරය වේ.

කෙසේ වෙතත් මෙම පා ගමනේ දී භික්ෂූන් වහන්සේලා දෙනමක් ට්‍රක් රථයක ගැටී තුවාල ලබා රෝහල්ගත කර තිබේ.  

එහෙත් උන්වහන්සේලා තවමත් සිය නොපසුබට උත්සාහයේ නිරත වෙමින් සිටිති.

මෙම භික්ෂූන් වහන්සේලාට සමාජ මාධ්‍ය තුළ සුවිශාල ප්‍රේක්ෂක අනුගාමිකයන් පිරිසක් සිටින අතර, ෆේස්බුක්හි පමණක් එම ගණන ලක්ෂ 4කට අධිකය.

"අපි තනියම ඇවිදින්නේ නැහැ. සාමයට විවෘත හදවතක් ඇති, කරුණාව තෝරාගත් ආත්මයක් ඇති, අවබෝධය වර්ධනය කරගත් සෑම පුද්ගලයෙකු සමගම අපි එකට ඇවිදිනවා" එම කණ්ඩායම පවසයි.