ඩිජිටල් වංචාවල සැලකිය යුතු වැඩිවීමක් - ගත වූ වසරේදී CERT ආයතනයට පැමිණිලි 12650ක්
January 1, 2026 02:08 pm
අන්තර්ජාලය හරහා සහ සමාජ මාධ්‍ය අනිසි භාවිතය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි සුදානම් සංසදයට 2025 දී පැමිණිලි 12,650 කට වඩා
ලැබී තිබෙන බව CERT ආයතනය පවසයි.
මෙය පෙර වසර හා සසඳන විට මාර්ගගත වංචා, ඩිජිටල් වංචා සහ සයිබර් හිරිහැරවල සැලකිය යුතු වැඩිවීමක් පෙන්නුම් කරන බව එම ආයතනය සඳහන් කරයි.
ශ්‍රී ලංකා CERT හි ප්‍රධාන තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චාරුක දමුණුපොල මහතා සඳහන් කරන්නේ, පැමිණිලිවලින් සැලකිය යුතු ප්‍රතිශතයක් ව්‍යාජ ගිණුම්, හැක් කරන ලද ගිණුම් සහ සමාජ මාධ්‍ය වේදිකා හරහා සිදුකරන ලද මූල්‍ය වංචා සම්බන්ධයෙන් වන බවය.
වෛරී හෝ අපයෝජන අන්තර්ගතයන් සහ වැඩිහිටියන්ගේ ලිංගික හිරිහැර පිළිබඳ අන්තර්ගතයන් ද පැමිණිලි අතර ඉහළ මට්ටමක පවතින බව සඳහන්ය.
මේ අතර පුද්ගලයන්ට සහ සාමාන්‍ය ජනතාවට බලපාන සාමාන්‍ය වංචා සහ අසත්‍ය තොරතුරු බෙදාහැරීමේ කැපී පෙනෙන වැඩිවීමක් ද මෙහි දක්නට ලැබෙන බව ඔහු පැවසීය.
පුද්ගලයන් රවටා ඔවුන්ගේ බැංකු ගිණුම් අංක, OTP හා මුරපද සහ QR කේත ආදී පුද්ගලික තොරතුරු ලබා ගනිමින් සයිබර් අපරාධකරුවන් මෙලෙස කටයුතු කරන බවද නිරීක්ෂණය වී ඇත.
සන්නිවේදනය, වෙළඳාම සහ මූල්‍ය කටයුතු සඳහා ඩිජිටල් වේදිකා ඔස්සේ කටයුතු කිරීම සඳහා වැඩිවන විශ්වාසයේ වාසිය ලබාගැනීම සඳහා සයිබර් අපරාධකරුවන් වඩ වඩාත් නවීන හා වංචනික ක්‍රම භාවිතා කරමින් සිටින බවද ඔහු සඳහන් කළේය.
විශේෂයෙන් අවදානමට ලක්විය හැකි කණ්ඩායම්, එනම් අන්තර්ජාල ආරක්ෂණ ක්‍රියා පටිපාටි පිළිබඳව ප්‍රමාණවත් දැනුමක් නොමැති තරුණ තරුණියන්, වැඩිහිටි පරිශීලකයින් සහ පළමු වරට අන්තර්ජාල භාවිතා කරන්නන් මෙවැනි වංචාවන්ට ගොදුරු වන පුද්ගලයන් අතර නිතර දක්නට ලැබෙන බවද ඔහු සඳහන් කළේය.
අන්තර්ජාලය තුල සුපරීක්ෂාකාරීව සිටින ලෙසත්, පුද්ගලික හෝ මූල්‍ය තොරතුරු අන්තර්ජාලය ඔස්සේ බෙදා ගැනීමෙන් වළකින ලෙසත්, සැක සහිත පණිවිඩ සහ සබැඳි සත්‍යාපනය (verify) කරන ලෙසත්, ද්වි සාධක සත්‍යාපනය (Two factor authentication) සහ ආරක්ෂිත මුරපද වැනි ශක්තිමත් ආරක්ෂක පියවරයන් සක්‍රීය කරන ලෙසත් චාරුක දමුණුපොල මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් කඩිනම් ප්‍රතිචාර දැක්වීම සහ අවම කිරීම පහසු කිරීම සඳහා, සයිබර් සිදුවීම් පිළිබඳව වහාම ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (CERT) වෙත වාර්තා කරන ලෙස මහජනතාවට පවසයි.
රට පුරා සයිබර් ප්රහාරයන්ට මුහුණ දීමේ හැකියාව, මහජන දැනුවත්භාවය සහ ඩිජිටල් ආරක්ෂාව වැඩි දියුණු කිරීම සඳහා, සයිබර් ආරක්ෂණ සිදුවීම් ප්‍රතිචාර සඳහා ජාතික අධිකාරිය වන ශ්‍රී ලංකා CERT, පොලීසිය, නීතිය ක්‍රියාත්මක කරන සංවිධාන, සේවා සපයන්නන් සහ වෙනත් අය සමඟ සමීපව සහයෝගයෙන් කටයුතු කරන බව ද දමුණුපොල මහතා පැවසීය.
එලෙසම කිසියම් අත්‍යාවශ්‍ය සහාය සේවාවකට හෝ සයිබර් සිදුවීමක් වාර්තා කිරීමට, මහජනතාවට 101 ක්ෂණික දුරකථන අංකය ඔස්සේ ශ්‍රී ලංකා CERT ආයතනය ඇමතීමට හෝ report@cert.gov.lk විද්‍යුත් තැපෑල හරහා එවිය හැකි බවද වැඩිදුරටත් සඳහන් කරයි.
