ගාල්ල නගර සභාවේ යකා නැටුව විපක්ෂ මන්ත්‍රීවරියක් ඇතුළු 5ක් අත්අඩංගුවට

ගාල්ල නගර සභාවේ යකා නැටුව විපක්ෂ මන්ත්‍රීවරියක් ඇතුළු 5ක් අත්අඩංගුවට

December 31, 2025   10:58 am

ගාල්ල මහ නගර සභාවේ විශේෂ මහා සභා රැස්වීමේ දී නොසන්සුන්කාරී ලෙස හැසිරෙමින් නාගරික ලේකම්වරිය ඇතුළු නිලධාරී මණ්ඩලයට ජල ප්‍රහාර එල්ල කර සාපරාධී බලහත්කාරය පා රාජකාරියට බාධාකිරීම සම්බන්ධයෙන් විපක්ෂ මන්ත්‍රීවරියක් ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, ගාල්ල මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනෙක්, පොදුජන එක්සත් පෙරමුණේ නාගරික මන්ත්‍රිවරියක් සහ සමගි ජන බලවේගයේ නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනෙකි.

ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව අද (31) ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඊයේ (30) දින නගරාධිපතිවරයා සභාව ආරම්භ කිරීමත් සමඟ සභා ලේකම්වරිය ඇතුළු නිලධාරීන්ට විපක්ෂ මන්ත්‍රීවරු විරෝධය පළකිරීමත් සමඟින් නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වුණි.

ඉකුත්දා පැවති අයවැය සම්මත කිරීමේ ඡන්ද විමසීමේදී ඇතිවූ ආරවුලක් මත ලේකම්වරිය ඇතුළු නිලධාරීන් සභා ගර්භයට පැමිණ ක්‍රියා කළ ආකාරය සම්බන්ධයෙන් මෙම තත්ත්වය ඇතිවී තිබුණි.

නගරාධිපතිවරයා න්‍යායපත්‍රානුකූලව සභාවේ කටයුතු ක්‍රියාත්මක කළ අතර ඉන් අනතුරුව එළැඹි කාරක සභා අවස්ථාව නිවේදනය කිරීමත් සමඟ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් ලේකම් මණ්ඩලය රැඳි සිටින පෙදෙසට වතුර බෝතල්වලින් ප්‍රහාර එල්ල කර තිබුණි.

තත්ත්වය පාලනය කිරීම අපහසුවීමත් සමඟ සභාව විනාඩි 30කට කල්තැබීමට නගරාධිපතිවරයා කටයුතු කළ අතර එහිදීද විපක්ෂයේ මන්ත්‍රීවරු කෑ ගසමින් නොසන්සුන් ලෙස හැසිරුණි.