තවත් ප්‍රා.ලේකම් කාර්යාල දෙකක බෝම්බ බියක්

තවත් ප්‍රා.ලේකම් කාර්යාල දෙකක බෝම්බ බියක්

December 29, 2025   05:22 pm

නාවලපිටිය, පස්බාගේ කෝරළයේ ප්‍රාදේශීය ලේකම් කාර්ලයේ ගබඩා කාමරය තුළ බෝම්බයක් ඇති බවට එම කාර්යාලයේ විද්‍යුත් තැපෑලට අද පණිවුඩයක් ලැබී තිබුණි.

එම පණිවුඩය මත අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගබඩා කාමරය ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රය අද (29) හදිසි පරීක්ෂාවට ලක්කළ බව 'අද දෙරණ' වාර්තාකරු පැවසීය.

නාවලපිටිය පස්බාගේ කෝරළයේ ප්‍රාදේශීය ලේකම් රම්‍යා ජයසුන්දර මහත්මිය වෙත මෙම ඊ-මෙල් පණිවුඩය විදේශ රටකින් එවා තිබුණු බවත් එහි සඳහන්ව තිබුණේ, "කූඩාරමක් තුළ බෝම්බයක් ඇත. එය (29) දින පස්වරු 2:00ට පුපුරා යන බව" යනුවෙනි.

ඒ හේතුවෙන් වහා ක්‍රියාත්මක වූ ප්‍රාදේශීය ලේකම්වරිය එහි කාර්ය මණ්ඩලය සහ පැමිණ සිටි පිරිස ඉවත් කර තිබුණි.

පසුව ප්‍රාදේශීය ලේකම්වරිය විසින් ඒ පිළිබඳව ආරක්ෂක අංශ වෙත දැනුම් දී ඇත.

නාවලපිටිය පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය, යුද හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශය, පොලිස් නිල සුනඛ කොට්ඨාසයේද සහයෝගය ඇතිව එම ගබඩා කාමරය පරීක්ෂා කිරීමෙන් අනතුරුව එහි සැකකටයුතු කිසිවක් නොමැති බවට තහවුරු විය.

සිද්ධිය සැල වූ වහාම එම ස්ථානයට පැමිණි මහනුවර දිස්ත්‍රික් පා.ම. තුෂාරි ජයසිංහ මහත්මිය කියා සිටියේ, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ලද විද්‍යාත් තැපැල් පණිවුඩයක් මත ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රය පරීක්ෂාවට ලක්කළ බවය.

මේ අතර  පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ද අද (29) යම් ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වන බවට ලද විද්‍යුත් පණිවුඩය ව්‍යාජ බවට විමර්ශනවලදී අනාවරණය වූ බව පූජාපිටිය පොලීසිය සඳහන් කරයි.

එනමුත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා ඇතැයි ද ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ඊයේ (28) විද්‍යුත් ලිපිනය මඟින්, යම් ත්‍රස්තවාදී ප්‍රහාරයක් ඇතිවීමට ඉඩ ඇති බවත් නිලධාරීන් අද දහවල් 02.00ට පෙර ඉවත් වන ලෙසට දන්වා පණිවුඩයක් ලැබී තිබුණි.

එම පණිවුඩය පෙරේදා දින ලැබී ඇතිමුත් එදින නිවාඩු බැවින් එහි නිලධාරියෙක් එම විද්‍යුත් පණිවුඩය දැක තිබුණේ අද දිනයේ දීය.

ඒ සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරියගේ උපදෙස් මත එහි නිලධාරියෙක් අද පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව වහා ක්‍රියාත්මක වූ පොලීසිය සියලුම කාර්ය මණ්ඩලය ඉවත්කර පොලිස් විශේෂ කාර්ය බළකාය සහ බෝම්බ නිෂ්ක්‍රීය අංශය මෙන්ම නිල සුනඛයන් ගෙන්වා විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කළ ද සැකකටයුතු කිසිවක් හමු නොවූ බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

පැය හතරකට ආසන්න කාලයක් එම සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.