වාර්ෂික ප්‍රසාද දීමනා ඉල්ලා  ගුවන්තොටුපොළ සේවකයින් උද්ඝෝෂණයක

වාර්ෂික ප්‍රසාද දීමනා ඉල්ලා ගුවන්තොටුපොළ සේවකයින් උද්ඝෝෂණයක

December 29, 2025   11:35 am

සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා විසින් ප්‍රකාශයට පත් කළ 2025 වසරේ ප්‍රසාද දීමනා ලෙස ලබා දීමට නියමිතව තිබූ සේවක වැටුපෙන් මූලික වැටුප් 05ක ප්‍රමාණය ලබා දෙන ලෙස බල කරමින් ගුවන් තොටුපොළ සේවක වෘත්තීය සමිති අද (29) උද්ඝෝෂණයක නිරත විය.

මෙම උද්ඝෝෂණය සඳහා ගුවන් තොටුපොළ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, පොදු ජන සේවක සංගමය, ප්‍රගතිශීලි සේවක සංගමය, ජාතික සේවක සංගමය සහ ශ්‍රීලංකන් ගුවන් සේවයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය නියෝජනය කරමින් සේවක සේවිකාවන් 50ක පමණ පිරිසක් සහභාගී වී ඇත.

එහිදී ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති මුහන්දිරම් මහතා අනාවරණය කළේ දැනට 2025 වසරේ ප්‍රසාද දීමනා ලෙස මූලික වැටුප් දෙකක ප්‍රමාණයක් ලබා දී ඇත්තේ, ගුවන් තොටුපොළ සමාගමේ වාර්ෂික ශුද්ධ ලාභය රුපියල් බිලියන 21ක් වන පසුබිමක බවය.

ඒ අනුව මෙම ඉල්ලීම සලකා බලා අවම වශයෙන් තවත් මූලික වැටුප් දෙකක ප්‍රමාණයක් හෝ ලබා දීමට පියවර ගන්නා ලෙස ඔවුන් ඉල්ලීම් කර ඇත.