රුසියානු - යුක්‍රේන යුද්ධය නැවැත්වීමට සෙලෙන්ස්කි ට්‍රම්ප් හමුවෙයි

රුසියානු - යුක්‍රේන යුද්ධය නැවැත්වීමට සෙලෙන්ස්කි ට්‍රම්ප් හමුවෙයි

December 29, 2025   07:01 am

යුක්‍රේනය සහ රුසියාව අතර සාම ගිවිසුමකට එලැඹීමේ අඛණ්ඩ උත්සාහයේ අරමුණ වෙනුවෙන් යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුව තිබේ.

ඒ අමරෙිකාවේ ෆ්ලොරිඩාවේ පිහිටි ට්‍රම්ප්ට අයත් මාර්-ඒ-ලාගෝ මන්දිරයේදීය.

විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන්ව ඇත්තේ නිවාඩු සති අන්තය හේතුවෙන් ට්‍රම්ප් සිය ජනාධිපති රාජකාරි කටයුතු සඳහා විරාමයක් ලබා දී ඇති බැවින් මෙම මාර්-ඒ-ලාගෝ මන්දිරයේදී මෙම හමුව පැවැති බවය.

ඒ අනුව යුක්‍රේන ජනාධිපතිවරයා සිය නියෝජිත පිරිස සමග එම මන්දිරයේදී අමෙරිකානු ජනාධිපතිවරයා හමුව ඇත.

ඊට යුක්‍රේන ජාතික ආරක්ෂක සහ ආරක්ෂක මණ්ඩලයේ ලේකම් රුස්ටම් උමෙරොව් සහ යුක්‍රේන හමුදා මාණ්ඩලික ප්‍රධානී ඇන්ඩ්‍රි නාටෝච් ඇතුලු පිරිසක් සහභාගී වී ඇති බවද වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා අනුව යුක්‍රේන ජනාධිපතිවරයා අමෙරිකානු ජනාධිපතිවරයා හමුවන තුන්වැනි අවස්ථාවද මෙය වේ.

ඒ අනුව පසුගිය පෙරවාරි මාසයේදී සහ අගෝස්තු මාසයේදී යුක්‍රේන ජනාධිපතිවරයා අමෙරිකාවේදී ට්‍රම්ප් හමුව තිබේ.

දෙපාර්ශ්වය අතර පැවැති හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් යුක්‍රේන ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ රුසියානු - යුක්‍රේන සාම සැලැස්මට අමෙරිකානු ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවලින් 90%ක් සඳහා යුක්‍රේනය එකඟ වන බවය.

එමෙන්ම එක්සත් ජනපද - යුක්‍රේන ආරක්ෂක සහතිකය සමග 100%ක් එකඟ බව යුක්‍රේන ජනාධිපතිවරයා සඳහන් කර ඇති අතර එමගින් කල්පවත්නා සාමයක් ළඟා කර ගැනීමේ ප්‍රධාන සන්ධිස්ථානය වෙත ගමන් කළ හැකි බවද ඔහු පවසා තිබේ.

මෙම මාධ්‍ය හමුවේදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ යුක්‍රේනය ඉතා නිර්භීත බවත් ඔවුන් දැවැන්ත හානියක්ද සිදුකරගෙන ඇති බවයි.

මේ හේතුවෙන් ඉක්මනින් ගැටුම් අවසන් කිරීමේ කාලය එලැඹ ඇති බවත් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

එමෙන්ම යුක්‍රේනයේ සංචාරය කිරීමට තමන් සූදානම් බවත් නමුත් පලමුව ගිවිසුමක් ඇති කර ගැනීමට අවශ්‍ය බවත් අමෙරිකානු ජනාධිපතිවරයා එහිදී පවසා ඇත.

එමෙන්ම යුක්‍රේනයේ පිහිටි රුසියානු පාලනය යටතේ පවතින Zaporizhzhia න්‍යෂ්ටික බලාගාරය පිළිබඳව තමන් රුසියානු ජනාධිපති පුටින් සමග සාකච්ඡා කළ බවත් එම බලාගාරයට රුසියාව පහරදී නොමැති බවත් අමෙරිකානු ජනාධිපතිවරයා මෙහිදී පවසා තිබේ.

මෙහිදී මාධ්‍යවේදීන් මෙම යුද්ධය අවසන් කිරීම සඳහා කොපමණ කාලයක් ගත වේද යන්න අමෙරිකානු ජනාධිපතිවරයාගෙන් විමසා සිටි අතර ඒ සඳහා පිළිතුරු ලබා දෙමින් ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ සති කිහිපයකින් අවසන් විය හැකි නමුත් තවමත් එය සිදු නොවීමටද ඉඩ ඇති බවය.

එමෙන්ම රුසියාව, අමෙරිකාව සහ යුක්‍රේනය අතර ත්‍රෛපාර්ශ්වික හමුවක් සිදුවනු දැකිය හැකිදැයි මෙහිදී මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේදී එය එය අවශ්‍ය හොඳම වේලාවේදි සිදුවිය හැකි බවද අමෙරිකානු ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා හී වැඩිදුරටත් සඳහන්ව ඇත.