ග්‍රීසියේ හිම කඳු කඩා වැටීමෙන් අතුරුදන්වූ කඳු නගින්නන්ගේ සිරුරු හමුවෙයි

ග්‍රීසියේ හිම කඳු කඩා වැටීමෙන් අතුරුදන්වූ කඳු නගින්නන්ගේ සිරුරු හමුවෙයි

December 27, 2025   10:18 pm

ග්‍රීසියේ මධ්‍යම වර්ඩුසියා කඳුකරයේ කුණාටුවකට හසුව කඩා වැටුණු හිම කඳු අතරට මැදිවූ අතුරුදන් වූ කඳු නගින්නන් සිවුදෙනාගේ මළ සිරුරු සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ග්‍රීක රාජ්‍ය විකාශන ආයතනයක් වන ERT සඳහන් කර ඇත්තේ ෆොකිඩා කඳුකර ප්‍රදේශයේ මහා පරිමාණ සෝදිසි කිරීමකින් පසුව අදාළ මළ සිරුරු සොයාගෙන ඇති බවය.

මිය ගිය පුද්ගලයින් අතරට පිරිමි පුද්ගලයින් තිදෙනෙකු සහ කාන්තාවකගේ මළ සිරුරක්ද අයත් බව එම මාධ්‍ය වාර්තා හී සඳහන්ව ඇත.

මෙම කඳු නගින්නන් පිරිස හිතකර කාලගුණයක් යටතේ ඔවුන්ගේ කඳු නැගීම ආරම්භ කළ නමුත් පසුව ඇතිවූ අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ මෙම පිරිස අනතුරට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වේ.

ඊයේ (26) දිනයේදී වාර්තා වූයේ මෙම පිරිසගේ දුරකථන අක්‍රීය වී ඇති බවත් සංඥා නොමැතිවීම හේතුවෙන් ඔවුන් සම්බන්ධ කර ගැනීමට බලධාරීන් ගත් උත්සාහයන් සියල්ල අසාර්ථක වී ඇති බවය.

ඒ අනුව ඩ්‍රෝන යානා සහ පුහුණු සුනඛයින් යොදා ගනිමින් ඊයේ දිනයේදීම සෝදිසි කිරීම් සහ ගලවා ගැනීම් මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට බලධාරීන් පියවර ගෙන තිබුණි.