දන්ත වෛද්‍ය නිලධාරීන් 62ක් සුව සේවාවට

දන්ත වෛද්‍ය නිලධාරීන් 62ක් සුව සේවාවට

December 27, 2025   05:34 pm

දන්ත වෛද්‍ය නිලධාරීන් 62ක් සඳහා පත්වීම් ලිපි ප්‍රධානය එළැඹෙන සඳුදා (29) දින සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ එදින පෙරවරු 10.00ට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී මෙය පැවැත්වීමට නියමිතව ඇති බවය.

මෙම දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන් මෙරට හා විදේශීය විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨයන්හී වසර පහක උපාධි අධ්‍යාපනය හැදෑරුවන් වන අතර එම අධ්‍යනය කටයුතුවලින් පසු දිවයින පුරා පිහිටි රජයේ ප්‍රධාන රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන්, පළපුරුදු ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ වසරක පුහුණුවක් හදාරා තිබේ.

එළැඹෙන ජනවාරි මස 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත්වීම් ලබා දෙන අතර උතුරු නැගෙනකහිර පළාත් ඇතුළුව දුෂ්කර ප්‍රදේශවල ස්ථාපිත රජයේ රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල සේවය සඳහා  මෙම දන්ත වෛද්‍ය නිලධාරීන් අනුයුක්ත කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

මෙම අවස්ථාව සදහා සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (දන්ත සේවා) විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක යන මහත්වරුන් ඇතුළු එම අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද එක්වීමට නියමිතය.