නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කයන් හී නායයෑමේ අවදානමට ලක්වූ පාසල් ගැන තීරණයක්

නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කයන් හී නායයෑමේ අවදානමට ලක්වූ පාසල් ගැන තීරණයක්

December 27, 2025   04:35 pm

අයහපත් කාලගුණය හේතුවෙන් බලපෑමට ලක් වූ නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කයේ පාසල් කිහිපයක නායයෑම් අවදානම් තත්ත්වය පාලනය කිරීමට  ඉංජිනේරු තාක්ෂණය යොදා ගැනීමට හෝ ඒ පිළිබඳව නැවත තීරණයක් ගත යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

එම සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල් ඉංජිනේරු ආචාර්ය ආසිරි කරුණාවර්ධන මහතා සඳහන් කළේ මෙම පාසල් සෘජුවම නායා යෑමට ලක්ව ඇති බවට පසුගියදා සිදු කෙරුණු අවදානම් තක්සේරු පරීක්ෂාව මගින් හඳුනාගෙන ඇති බවය.

දැනට අවදානම් තත්ත්වයේ පවතින එම පාසල් පරීශ්‍රයන් ඉංජිනේරු තාක්ෂණය යොදාගෙන නැවත ස්ථාවර කිරීමට සූදානම් වෙන අතර එසේ කිරීමට නොහැකි පාසල් සම්බන්ධයෙන් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීමටද පියවර ගෙන ඇත.

මෙහිදී හසලක ප්‍රදේශය හැරුණු කොට මහනුවර දිස්ත්‍රික්කයේ කිසිදු පාසලක් අවදානම් තත්ත්වයේ නොමැති බව තත්ත්ව තක්සේරු පරික්ෂණ වාර්තාව මගින් තහවුරු කරගෙන තිබේ.

මධ්‍යම පළාතේ පාසල් 160ක සංඛ්‍යාවක් සම්බන්ධයෙන් පසුගියදා සිදු කෙරුණු තක්සේරු පර්යේෂණ වාර්තාව මේ වන විටත් අධ්‍යාපන අමාත්‍යය අග්‍රාමාත්‍යය හරිනි අමරසූරිය වෙත භාරදී ඇති අතර එහි නිර්දේශ ක්‍රියාත්මක කිරීම අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සිදුකළ යුතු බව ආචාර්ය කරුණාවර්ධන මහතා සඳහන් කළේය.

එබැවින් අවදානම් සහිත පාසල් පිළිබඳව නැවතත් මේ දිනවල අධ්‍යයනය කරමින් පවතින බවත් එම පාසල් සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයක් ගැනීම අධ්‍යාපන අමාත්‍යංශය වෙත කරුණු වාර්තා කර ඇති බවද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු ආචාර්ය ආසිරි කරුණාවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.