පෙරටුගාමීගෙන් ආණ්ඩුවට අභියෝගයක්

පෙරටුගාමීගෙන් ආණ්ඩුවට අභියෝගයක්

December 27, 2025   11:41 am

'දිට්වා' සුළි කුණාටුවෙන් ඇතිවූ විනාශය සැලකිල්ලට ගිනිමින් මෙරට ආර්ථිකයට සිදුව ඇති හානිය සම්බන්ධයෙන් රජය සෘජු ප්‍රකාශයක් සිදුකළ යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ 'දිට්වා' සුළි කුණාටුවෙන් ඇතිවූ විනාශය සැලකිල්ලට ගිනිමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි පියවර පිළිබද ලොව ප්‍රමුඛ පෙළේ ආර්ථික විශේෂඥයින් පිරිසක් විසින් නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් ආණ්ඩුව දැඩි සැලකිල්ලක් දැක්විය යුතු බවය.

'දිට්වා' සුළි කුණාටුවෙන් ඇතිවූ විනාශය සැලකිල්ලට ගිනිමින් ශ්‍රී ලංකාවේ බාහිර ණය ගෙවීම් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගන්නා ලෙස ඉල්ලමින් නොබෙල් ත්‍යාගලාභී ජෝසප් ස්ටිග්ලිට්ස් ඇතුළු ලොව ප්‍රමුඛ ආර්ථීක විශේෂඥයින් 121 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් පසුගියදා නිවේදනයක් නිකුත් කර තිබුණි.

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති වත්මන් හදිසි අවශ්‍යතා හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අතිරේක ණයක් මේ වනවිටත් ලබා ගෙන ඇති අතර, ඉදිරියේ දී තවත් ණය ලබාගැනීමට සිදුවනු ඇති බව ද එම විශේෂඥයින් පෙන්වා දී තිබේ.

මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ බාහිර ස්වෛරී ණය ගෙවීම් වහාම අත්හිටුවීම සහ නව තත්ත්වයන් යටතේ ණය තිරසරභාවය යථා තත්ත්වයට පත් කිරීමට නව ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදුකරන ලෙස ඔවුන් වැඩිදුරටත් ඉල්ලා ඇති බව සඳහන්.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව පවසන්නේ, ආණ්ඩුව මෙම නිවේදනය වැඩි අවධානයෙන් සලකා බැලිය යුතු බවය.

"අද වෙනකොට ලෝකයේ ප්‍රමුඛතම ආර්ථික විශේෂඥයෝ 121 දෙනෙක් ලංකාව සම්බන්ධයෙන් ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කරලා තියෙනවා. ඒ ප්‍රසිද්ධ ප්‍රකාශයේ ඔවුන් පැහැදිලිව කියනවා ලංකාවට ණය ගෙවන්න බැරි වෙනවා ඉදිරි කාලපරිච්ඡේදයේදී. 

ඒ නිසා ඔවුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෝජනා කරනවා ණය ගෙවීමේ අත්හිටුවීමක් දෙන්න. ඒ ණය ගිවිසුම් දෙක ⁣සලකා බලන්න.අපි රට ඇතුළේ ඉඳලා කියපු කාරණය පිළිගන්න බැරි නම් ලෝකයේ  ඉන්න ප්‍රබලම ආර්ථික විශේෂඥයෝ කියලා තියන දේ සලකා බලන්න කියලා අපි ආණ්ඩුවට කියනවා".