හරිත මාවත ආශ්‍රිතව විශේෂ මෙහෙයුමක් - තිදෙනෙක් අත්අඩංගුවට
December 26, 2025 01:56 pm
නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන එමින් තිබූ රුපියල් ලක්ෂ අසූ හයක් වටිනා භාණ්ඩ තොගයක් සමග ශ්‍රී ලාංකික ගුවන් මගීන් තිදෙනෙකු අද (26) ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
උත්සව සමය ඉලක්ක කරගනිමින් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ 'හරිත මාවත' ( Green Channel ) ආශ්‍රිතව සිදු කළ විශේෂ මෙහෙයුමකදී මෙම තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
මොවුන් තිදෙනා අතරින් එක් අයෙකු 58 හැවිරිදි වියේ පසුවන මීගමුව ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු වන අතර අනෙක් දෙදෙනා 38 හැවිරිදි වියේ පසුවන බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරික කාන්තාවන් දෙදෙනෙක් බව වාර්තා වේ.
මෙම කාන්තාවන් දෙදෙනාගෙන් එක් අයෙකු රෝගී තත්වයක පසුවන බව හැඟවීම සඳහා රෝද පුටුවක තබා ගෙන අනෙක් කාන්තාව විසින් තල්ලු කර ගෙන ගුවන් තොටුපොළ " හරිත මාවත " ප්‍රදේශය ඔස්සේ ගමන් කරමින් සිටියදී, ඔවුන්ගේ සැක කටයුතු ඉරියව් නිරීක්ෂණය කළ රේගු නිලධාරීවරුන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබුණි .
මොවුන් අද අලුයම 12.30ට ඩුබායි සිට ෆිට්ස් එයාර් ගුවන් සේවයේ 8.ඩී.-822 දරන ගුවන් යානයෙන් සහ අලුයම 01.00ට තායිලන්තයේ බැංකොක් නුවර සිට එයාර් ඒෂියා ගුවන් සේවයේ එෆ්.ඩී.- 140 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.
ඔවුන්ගේ ගමන් මලු තුළ තිබී විදේශීය නිෂ්පාදිත " මැන්චෙස්ටර් " වර්ගයේ දුම්වැටි 44,000ක් අඩංගු දුම්වැටි කාටූන් 220ක්, විදේශීය මත්පැන් බෝතල් 19 ක්, රූපලාවන්‍ය කටයුතු සදහා භාවිතා කරන සෞඛ්‍ය අමාත්‍යංශයේ සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අවසරය නොමැති කොලැජන් පැකැට් 430ක්, පාවහන් සහ වෙළෙද භාණ්ඩ තොගයක් රේගු නිලධාරීවරුන් විසින් සිය භාරයට ගෙන තිබේ.
කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
