අධිකරණ නියෝග මත රැගෙන යන ළමුන් ප්‍රවාහනයට ළමා මිතුරු ප්‍රවාහන සේවයක්

අධිකරණ නියෝග මත රැගෙන යන ළමුන් ප්‍රවාහනයට ළමා මිතුරු ප්‍රවාහන සේවයක්

December 24, 2025   10:00 pm

අධිකරණ නියෝග මත ආරක්ෂිත ස්ථාන වෙත ළමුන් ප්‍රවාහනය කිරීමේ නව ක්‍රියාවලියට අනුව, එක් පලාතකට එක් වාහනයක් බැගින් පළාත් 09 සඳහා ටොයෝටා වර්ගයේ නවීන වෑන්රථ 9ක්‌ ලබා දී තිබේ.

බත්තරමුල්ල, සෙත්සිරිපාය, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශ පරිශ්‍රයේ දී සරෝජා සාවිත්‍රි පෝල්රාජ් අමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් අද (24)  පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තු වෙත එම වෑන්රථ නිල වශයෙන් භාර දී ඇත. 

“පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ” රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් ද “සුරක්ෂිත ළමා ලෝකයක් නිර්මාණශිලි අනාගත පරපුරක් ”යටතේ දරුවන් ප්‍රවාහනයේදී ආරක්ෂිත හා ගෞරවනීය ප්‍රවාහන ක්‍රමයක් සහතික කිරීම සඳහා ළමා හිතකාමි ප්‍රවාහන පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට රජයේ අවදානය යොමුව ඇත.
  
ඒ අනුව මෙවර අයවැය මගින් පළාත් මට්ටමින්, පළාත් වෙත ළමුන් ප්‍රවාහනයට වාහන මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 250ක ප්‍රතිපාදන වෙන් කර ඇති බව සඳහන් වේ.

ළමුන් ප්‍රවාහනය කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීමේ මුල් අදියර යටතේ මීට පෙර ද දකුණ, සබරගමුව, බස්නාහිර, වයඹ, උතුර යන පළාත් සභා 5 සඳහා ටොයෝටා වර්ගයේ නවීන වෑන්රථ 05ක් ලබා දී ඇත.

රාජ්‍ය අංශයට නව බඳවා ගැනිම් අත්හිටුවා ඇති නමුත් මේ ක්‍රියාවලියට අවශ්‍ය කාර්ය මණ්ඩලයක් සඳහා නව බඳවා ගැනීම සිදු කිරීමට අවසර ලබා දී ඇති.

ඒ අනුව පළාත් මට්ටමින් නව තනතුරු 54 ක්‌ සඳහා අනුමැතිය ලබා දී තිබේ.

එක් පලාතකට රියදුරන් දෙදෙනෙකු, භාරකරුවන් දෙදෙනෙකු සහ ආරක්ෂක නිලධාරින් දෙදෙනෙකු වශයෙන් මෙලෙස නිලධාරින් 54 දෙනෙකු මෙම ළමුන් ප්‍රවාහනය සදහා බදවා ගැනීම් මේ වන විටත පළාත් මට්ටමින් සිදු කරමින් සිටින බව දැනුම් දෙයි.  

මෙලෙස බදවා ගනු ලබන කාර්ය මණ්ඩලයට විශේෂ පුහුණුවක් ලබා දීමටත් නියමිතයි.